Artemis II හොයාගත් සඳවතිය.
ඇය තව දුරටත් ළදැරියක නොවේ
හාවුන් නිදිකරවාගත් උකුල මත.
කිරි පැනි වෙනුවට ,
ණයට ගත් සඳරැස් ලොවටම බෙදන
මිහි මතට පමණක් හිනා වි
අඳුරේම ඉකිලන ඇය දැන් ගැහැනියක්.
ඇය තව දුරටත් යුවතියක් නොවේ.
සුසිනිදු ස්පර්ෂයන් නොමැති,
බොහෝ කටුක ගැහැටයන්
අනේක දුක්ක දෝමනස්සයන් විඳි බවට
බොහෝ සාක්ෂි ඇති කදිම ගැහැනියක් .
ඇය තව දුරටත් පෙම්වතියක් නොවේ
රළු මතුපිටක කඳුළු ලාවා ගලා ගිය,
ආවාට බොහෝ ගණනක් ඇති
හුස්මක් ගන්නටවත් නිනව්වක් නැති
ඇය කදිම ගැහැනියක්.
ඇය තව දුරටත් උපමාවක් නොවේ
කවි ගී ලියන්නන්ට සෞම්‍ය වූ කතකට.
ඕනෑම උණුසුමක දිය නොවී සිටිය හැකි
සෘණ පාඨාංකයක වුව නොමිදී සිටිය හැකි
සදාකල් වුව අඳුරේම ඉදිරියට යා හැකි
ඇය දැන් පරිනත ගැහැනියක්.
2026.04.14.
