පැතුම
පැන්සල අතින් ගත් විට අත වෙව්ලනවා
තෙලි තුඩ සායම් බදුනේ නෑ වෙනවා
කොහුමිට අතින් ගැලවී සී සීකඩ යනවා
වහලට ජලය ගලනා හඬ රැව් දෙනවා
අවතැන් වෙමින් පවතින ජන වැඩි වෙනවා
රූප වාහිනි තිරයත් බොඳ වෙනවා
සුරැකිව සිටින මට මෙතරම් හිත බිදෙනා
ජලයෙන් වටවූ දන හට කෙතරම් රිදෙනා?
සියතුන් ඇසෙන්නේ අඳෝනාවක ස්වරයෙන්
ගස් වැල වැනෙන්නේ රකුසන්ගේ හැඩයෙන්
මදනල දැනෙන්නේ සුලිසුලඟක් විලසින්
බත් පත කැවෙන්නේ වසවිස කැවන ලෙසින්
හැඩට ඇඳන් විදිනා සැප පෙන්වන්නේ
මුහුණු පොතේ පිටු විසිතුරු පළවෙන්නේ
කෙලෙසද ඇඟිලි තුඩු ඒවට නැව ගන්නේ?
හදවත ගලින් නිමවද දුක නොදැනෙන්නේ?
කලහැකි දෙයක් කරනට මැලි නොවෙමි අද
දිය හැකි දෙයක් දෙන්නට දිග හරිමි අත
මේ රට දනන් සුව වෙන්නට පතමි! සෙත
සැනසුම ලඟා වෙයි රකුසා ඉවත් කොට
කවිය බලන්න
