විජ්ජුලතා
සීතල පොරවගත් මේ මාලිගය පුරා
දැල්වෙයි උණුසුමේ සිත් ඉටිපහන් සරා
නංවා එයින් නැග එන සුසුවඳින් නුරා
රිංගා ඇදෙයි සිහිගිරි සිට යහන් අරා
බන්දා මිණිමෙවුල් ගෙලවට මුතු මාලා
සොලවා නාද කරවා පා බැඳි ජාලා
දුලවා නෙත් අගින් විදුලිය එළි මාලා
විහිදාලීය දෙ අධර මුදු රස තාලා
ලාලිත අනග රූබර නැටුමින් ඔපලූ
මනමත් කරයි රූලිය සුරඟන දිළිඳූ
ඇගෙවත දැවටි රන්වන් පාටින් ඔපලූ
ඡායා මවයි බිත මත නෙත් කළු තරිඳූ
පිහිනා කිරි සයුර වට රණහස පිම්මේ
ගෙනවා සුරැක තැබුවා හදවත නැම්මේ
දුටු දා කසුප් නිරිඳුන් හිඳ ගල මත්තේ
අඳවා තබාගති ඒ රුව බිත මත්තේ
රූසිරි අනගි ඒ සීගිරි ලදුන් සැමා
මුතු මල් නෙලා පුරවා සිනහවේ අමා
බිඳලා යදම් සීතල පිණි පවුරු වළා
නැගිලා ගියා ආයෙත් ගිරිමුදුන බලා
කවිය බලන්න
