'වෙන්කට්' කාව්‍ය සංග්‍රහයට මම කැමතියි.

'වෙන්කට්' කාව්‍ය සංග්‍රහයට මම කැමතියි.

වෛද්‍ය ශ්‍යාම කුමාර මුණසිංහ කොල්චෙස්ටර්, එංගලන්තය

'වෙන්කට්' කාව්‍ය සංග්‍රහයට මම කැමතියි. වෛද්‍ය වෘත්තියෙන් ලිවිසැරියත් ලිවිසැරියෙන් වෛද්‍ය වෘත්තියත් සමාජ ගරු බුහුමනට ලක් කරවන මෙම කාව්‍ය සංග්‍රහයේ කතුවර ශ්‍යාම කුමාර මුණසිංහයන්, 2004 වර්ෂයේ සිට එක්සත් රාජධානියේ වෛද්‍ය වෘත්තියේ යෙදෙමින් දැනට කොල්චෙස්ටර් රෝහලේ හදිසි අනතුරු අංශයේ සේවය කරයි. මා ඔහු මුල්වරට දැන හඳුනා ගත්තේ ද එහිදී ය. කුටුම්බය තුළ ජීවක පරපුරට ම අයත් සිය පියඹ සහ යොවුන් වසන්තයේ වෙසෙන පුතුන් තිදෙනාගෙන් ද ලැබෙන අනුපමේය ආදරය, දිරිය සහ සවිය නිසා ම ශ්‍යාමයන්ගේ ලේඛන දිවිය වඩාත් සාධනීය දිශානතියකට මෙහෙයවී ඇතැයි මට සිතේ. පාසල් වියේ සිට ම සරසවි බැල්මෙන් අවදිවන කවි සිත මෝදු වී ගොස් අනුක්‍රමයෙන් කාව්‍ය සංග්‍රහ කීපයක් ම එළි දැක්මෙන් අනතුරුව, අභිනව 'වෙන්කට්’ කාව්‍ය සංග්‍රහය ශ්‍යාමයන්ගේ පෑන් තුඩින් ජීවය ලබ යි. ශ්‍යාම කුමාර මුණසිංහයන් කවියකු ලෙස වඩාත් නැඹුරු වී ඇත්තේ ඡන්දසින් තොර නූතන කවිය දෙස වපර ඇසින් බලා, කවීන්ද්‍ර ගුණදාස අමරසේකරයන් අනුදත් ඡන්දස්, විරිත් ආදී භාෂා භාවිතයෙන් රිද්ම ලක්ෂණ මතු කරන කාව්‍ය ප්‍රවර්ග දෙසට යැයි 'වෙන්කට්' අන්තර්ගතයේ බොහෝ නිර්මාණ අතරින් ඉඟි පළ වෙයි. සෙවි වහරට ගරු කරන නමුදු ජන වහරෙන් ඔහු ලබා ඇති ආලෝකය, මෙහි ඇතුළත් වැඩිමනත් කවි නිර්මාණවලින් විශද වන බව ද කිව යුතු ය. භාෂාව, සම්ප්‍රදාය හා සංස්කෘතිය යන ප්‍රපංච ත්‍රිත්වයෙහි අන්‍යෝන්‍ය වශයෙන් පදාර්ථ වෙනස් වෙමින් නූතන කවියේ හැඩතල ද අනේකාකාරයෙන් ඊට සාපේක්ෂව වෙනස්වන කාල පරාසයක, ශ්‍යාම කුමාර මුණසිංහ කවියාගේ ලිවිසැරිය කෙරේ රසික අවධානය යොමු වී තිබීම සුබවාදී ලකුණක් ලෙස සඳහන් කිරීම වටණේ යැයි හැඟේ. මම ඔහුගේ ලේඛන දිවිසැරියට ඉත සිතින් ම සුබ පතමි. නිශ්ශංක දිද්දෙණිය ජීවිතය බිඳක් සේ උල්පතක් පොළොවෙන් උඩට මතුවී ගලන හෙමිහිට ඇලක් වේ ඊළඟට ටික ටික විශාලව එන විළස එළියට ගඟක් වීගත් විගස කාටත් ප්‍රතාපව අනුහසින් පෙනුනට පලක් වේවි ද අසා දැනගෙන ගඟක ඇති බිය මුහුදු යන්නට නතර නොවෙනා ලෙසක සුදු පෙණ බුබුළු ගල්පර හා බෙදාගෙන අතර මගකදි වැටෙන මුත් කඳු පහළ සුදු දිය ඇළි සදාගෙන නිතර ආ මග බලයි ගඟ යළි රිසිව නොයනුව තව ගලාගෙන කවර නම් ගංගා ද ගැලුවේ නැවත උඩු ගම් දෙස බලාගෙන මුදුන් කඳු මහ කැලෑ ගම් බිම් අතර සිසිලස බෙදා දුන්නත් සවන් දුන්නොත් ඇහෙයි කාටත් හෙමින් මුහුදට ඇදෙන සුසුමත් පිටින් එන තල්ලුව නිසා වෙන මගක් නෑ එහි නොගොස් ඉන්නත් ඉතින් මහ සාගරය වෙන්නට හිත හදා ගති සදා හැඬුවත්
කවිය බලන්න