සමනල සඳෙස -31
සමනලයා දුටු දියැලි 3
අලුපොල ඇල්ල දියකිඳුරිය - 31
515. මල් පල එමට පීදුණු තුරුලිය සොළවා
නල රල හමයි ඇගෙ බඳ කිකිණිය නළවා
හස රල උපද්දවමින් විළි බිය පළවා
අලුපොල ලිය ගලයි පෙම සිත තුළ අළවා
516. හ`ඩ තුරු වදුලෙ පැටලී කෝකිල යුද්දේ
වෙණ සංගීතයක සර නැඟ එයි බැද්දේ
දළුපත් සුළගෙ වෙළෙමින් උපදන සද්දේ
මම තනි වීමි සෙවුමට වන පෙත මැද්දේ
517. මා සිත සේ ම නෙක හදවත් වසී කළ
ලා-ලිත ගමන සිඳු හිමි ළඟ මුලා කළ
පා-ලිත කරන එකෙකු ද නැත මෙලෝ කල
ඈ වත බලන්නට එයි නන් දෙසින් හෙළ
518. එ- ද මල් කෙමි සැළී මී මුසු නල සුව දේ
වැ-ද නැහැයට දැනේ රසගෙන එන නිබදේ
මැ-ද තැනිතලාවකි සුව දෙන සිත සබදේ
ඇ-ද ගෙන හැළෙන අලුපොල කුමරිය එ මැදේ
519. මාලති ගිරා සූටික්කන් ඈ සියොතින්
කූඩු ද තිබේ වඩු අතු අග බැඳි රහසින්
පැණි බර හිඹුටු මාදං ඇති බැද්ද සොඳින්
හ`දුනයි මට වඩා එහි පල බුදින සතුන්
520. හදවත් පතුලෙ ඇය ගැන මගෙ ඇති රුති ය
දැකුමෙන් ඇය තවත් වැඩි කර තුඟු ගති ය
සේලය - මෑත් - කරමින් මේ රූ - මති - ය
ගලමින් වේගයෙන් පෙන්වයි හිමි බැති ය
521. සුකොමල සුපෙම් ගති ඇති සුරවියක වගේ
අමතක කරනු කෙලෙස ද මුදු ගතිය ඇගේ
පැහැදෙන අය අතරෙ සිත්-පිත් නොමැති රගේ
දනවයි පඳුරු දැවටී ඇගෙ නටන ඉගේ
522. වෙහෙසත් මහන්සිය හා රළු ගතිය මඟ
දැනුණෙන් පහස වින්දෙමි ඇගෙ බදෙහි සුඟ
වන සිවු පා සිටින මේ සුරතලිය ළඟ
හො`ද හැටි දනිති උන් ඇගෙ රස-පසගෙ රඟ
523. කලින් - කල වෙනස් වන පරිසරය දියේ
නුඹෙ ලස්සන කොතැන-කොහොම ද මැකී ගියේ
නිබඳ ව නොනැවතී දුර යන සවාරියේ
අමතක නොවේ මට අලුපොල කුමාරියේ
(මතු සම්බන්ධයි.)
2025.12.01
කවිය බලන්න
