ගිය දවස් ගැන කවක්
සාමා අමර ලෙස දුව පැන හිටි තාලේ
තවමත් සිහි වෙනව අපගේ පොඩි කාලේ
ගුටියක් දෙකක් කෑවත් කර ඳඟ බාලේ
මිහිරියි රසයි සිහිවෙන කොට ඒ කාලේ
ගණනක් දෙකක් වරදින කොට පොඩි කාලේ
අම්මා බය වුණා වරදක් ඇතිය මොළේ
සෙල්ලමටමයි හිත ඇදුනේ හැම වේලේ
පොත ඇල්ලුවේ බයටයි කෝටුවේ බලේ
උදේ හවා කර ගොන්කම් අමන මැටී
කාලා තියෙනවා ඇතිවෙන තරම් ගුටී
අකැමැති වුනත් ඒ කාලේ කන්න ගුටී
කාපු ගුටි නිසා ලැබු දේ හරිම වටී
කාලය ගත වෙලා පහුවෙන කොට බාල
නොදැනිම ඇවිත් අපි යුගයට හිරිමාල
දැක්කම කෙල්ලො හොඳ හිරිමල් සුකුමාල
මෝදු වුනා රස හැඟුමන් මනමාල
අහල පහල ගෑණු ළමයි ඳඟ පාට
මුකුළු කලා පාමින් දත් සුදු පාට
නැවුම් පෙම පුදන්නේ සිතමින් කාට
පහන් කලා නිදි මරමින් හැම රෑට
කලක් ගත වෙලා එළැඹී යොවුන් විය
විසිර යන්ට කාලය දැන් සැපත් විය
ඉගිල ගියා සමගින් සිත බැඳුණු ලිය
තැනුවෙ කූඩු පිරි වදනින් තෙපුල් පිය
තැනූ කූඩු පිරුණත් ඳඟ පොඩි උන්ගෙන්
පිටව ගොසින් දැන් උන් තුරුණූවු ගැම්මෙන්
කූඩු හිස් වෙලා ඇත දැන් පිය වදනින්
හවස් විය ගලා එයි හෙට අප දිවි ගමනින්
පළමු පන්තියේ මිතුදම් අපෙ බාලේ
රැකෙනව අදත් හිටියත් දුර මේ කාලේ
දුකයි සිහිවෙලා ගිය අය පෙර කාලේ
සමහර අපේ යාළුවො දැන් උඩු මාලේ
මෙලොවින් ගිය මිතුරන් ගැන දුකින් තැවී
සොඳුරු ඔවුන් ගැන ලිව හැකි දහස් කවී
කෙතරම් කව් ලිව්වත් උන් සිතේ මැවී
හැම තිස්සෙම යයි මගෙ සිත ගිනින් තැවී
ඉතුරු මිතුරු රැළ තැන තැන දිවි ගෙවනා
කලින් කලට හමුවෙමු අපි හැකි නිතිනා
හමුවූ කල තවමත් රස පිරි සිතිනා
එකම රස ගුලාවක් මවමුය නිතිනා
මිතුරු තොමෝ දුක සැප දෙකෙහිම පැවතී
බිතු සිතුවම් රූ මෙන් පිටු නොපා යතී
ඉඳ හිට පොඩි ගෝරියකුත් දමා ගතී
ඒත් මිතුරු දම් දිවි ඇති තෙක් පවතී
කවිය බලන්න
