මහත් මොහොත
නිරුත් සුසුම් සෘතු සැඩ සුළඟෙක ඇමිණී
කදත් බැඳන් දුර ගමනක් ගිය බැවිනී
වසත් සඳක් මන්දස්මිත ගෙන පැමිණී
යළිත් කුසුම් කැන් අතැඟිලිතර පිපුණී
හිරුත් වලාතර සැර රැස් සැඟවුවෙනී
තුරුත් අතු පතර විහිදා සෙවණ දුනී
අරුත් සපිරි ගී පැතිරී අඳුරු දෙණී
තරුත් නව රටා නිමැවී සඳ නොදනී
ගඟත් මඳක් නැවතී පෙම්බර හදිනී
සදත් විලක් සරි සිසිලක් පිනට දුනී
සිදත් ඉසිඹු දූවක ගයමින් රමණී
ලොවත් මගේ අත්ලෙහි නැටවෙනු හැඟුණී
නමුත් නැවත හේමන්තය එනු දනිමී
මලුත් කොළත් තුරු හැර යනයුරු දකිමී
නිලත් අහස් ගඟ දියවෙන බව බියෙමී
මහත් මොහොත සේයා රූ ගත කරමී
හද බිතුතර සේයා එල්ලා තබමී
දද මත පෙරා සමහර සේයා නෙළමී
සඳ වුව පුලින වුව සැම ලෝ දනට හිමී
මඳ මොහොතක මවා සේයා ගමන නිමී
කවිය බලන්න
