අම්මා
දොලසතකින්ය අවිබර දරණුයෙ සුරිඳුන්
මුදු දෙඅතින්ය දිවිබර උසුලන්නෙ මව්න්
දරුබර කුසින් කිරිබර පුන් ළමැද දරන්
බැරිබර දරාගෙන දිවිමග සරති ළඳුන්
සූරිය උදාවෙයි අහසෙහි පැල් බඳිමින්
කාරිය කරගත්තෙ මල් තැන තැන පිපෙමින්
සේලය ලිහනවා මීදුම ලහිලහියෙන්
ගැටබරු දෙවියනේ අම්මා කොයිබ ගිහින්
තම්බා ගහල අල මුට්ටිය පිරෙන්නට
ගාලා පොලුත් ලුණුමිරිසත් ඇත රතට
ලිප උඩ කේතලය ගිනියම් වෙයි සොඳට
අම්මා නොමැත නෙත් මානෙක පෙනෙන්නට
මිදුලට බසිමි අතුගා ඇත රටාවට
පහනට එබෙමි දල්වා ඇත මුනි පුදට
දොලට දුවමි දොල බැසයයි රිද්මයට
දෙනතට කඳළු රොක් වෙයි බිය ගෙන සිතට
අප්පා නිදයි පිල මත ගොර අදිමින්නේ
මලයා නිදයි කිරි සිහිනෙක දැවටෙමිනේ
කොපුලේ කිරිබිංදු තැවරී ඇත සොඳිනේ
කිරි දුන් සැනින් අම්මා කොයිබද ඇදුනේ
හිසමත දරමිටිය සමබර ලෙස රඳවා
ඉඟවට කොස්ගෙඩිය මත දකුණත රඳවා
වමතේ ගඩාගෙඩි රසඵල වැල රඳවා
අම්මා එනු පෙනේ මුව හසරැලි පුරවා
Photo Credit; Raul Angel
කවිය බලන්න
