හද විල පිපි ඉඳුවරී...!

හද විල පිපි ඉඳුවරී...!

අජිත් පුෂ්පකුමාර මාදින්නාගොඩ

යහන් තලාවට ඉසිමින් මුදු හසකැන් ආදරී පහන් තරුව වී සඳ නැති ආකාසෙට රූබරී සෙනේවන්ත කමට ඉතින් නුඹ කවදත් කෑදරී අමාවකේ කළු අඳුරට වහං වෙමුද ගෝමරී වන අරණේ තුරු පතරේ සුවැති සොබා විඳින්නී හීන් හිනාවෙන් කඳුළින් හද හැඟුමන් පුරන්නී ගෙයි ගෙපැලේ කුස අහරට ආදරයම පිසින්නී මගේ වෙලා රැහේ උන්ගෙ කෙනෙහිලිකම් දරන්නී පතිනි සළුව ඇඟලාගෙන බඹසර දම් සුරැකී දනිමි එසළු උනා දැම්මෙ මා අභිමුව වරකී ගත පහසින් සැතපන්නට ආවත් වට කැරකී බඹරුන්හට ලැගුම් ගන්න ඔය හිත මහ දුරකී නෙලා ගත්ත මේ රන් මල, මිණි පරයන ආකරේ දුලා දිවිය යුග සබැඳිය හද ගැඹුරින් යාකෙරේ සෝදුපතට ඉඩහසරක් නැති අරුමැසි ආදරේ පාරමී පුරා පිහිනමි ඒ ලෙංගතු සාගරේ ගෙවෙනා හැම තත්පරයක මගෙ ආලය යදින්නී දනිමි දිනෙක සෙනෙහසදී මගෙ කණවැල දරන්නී මා නැති ලොව හව්හරනක මග කිසිවක් නොදන්නී ඇගෙ නික්මන මට දකින්න හැම සුසුමක පතන්නී 2025.11.12
කවිය බලන්න