චමත්කාරය. BEAUTY OF BEAUTY
චමත්කාරය කොහි ගිහින්දැයි..
හොයන්නට මගෙ හිත කියයි.
මිනිස්සුන්ගෙන් අහන්නත් බෑ..
වැඩි දෙනෙක් තවෙකුට රවයි.
සවස් වරුවෙක අහස රවටා..
අරන් රත දෙනෙතින් හමයි.
දවස තිස්සෙම උඩට පහලට..
වමට දකුණට උන් දුවයි.
*****************************
ගලන ගඟ.. ඇළ දොළේ කැලතුණු
පෙණ බුබුළු සෝකය මවයි
හෙළන කුණු මලු ළයේ හොවමින්
හැඬුම් සඟවන්නෙත් දියයි.
කුලුනු උස්සන් බර දරාගෙන..
තරංගයකට බැඳුණියැයි
කළණ මිතුරන් තරහ වූ සේ..
කඳු මතට මීදුම නොයයි.
********************************
දිළෙන තරු සක්වලේ පාවෙන..
තවත් ඉර සඳවල් කියයි.
නැතිලු හාවෙක් සඳේ කිරි පැණි..
සැටලයිට් එහි තව යවයි.
වැටෙන පිනි බිඳු නෙවෙලු මුතු ඇට..
කියන හින්දා දැන් ළමයි.
නොදී පැහැසර මකා දේදුනු..
තරහ වී හිරු ලොව දවයි.
*********************************
පහන් වැටකින් වට වුනත් .
බෝ මළුව වෙහෙරද කලබලයි.
පණස් හතළිස් ගණන්වල ..
තිබුණු පිං බිම නිසසලයි.
ගුවන් තලයේ කලා පිරි සඳ..
ගතු කියයි වත දුක්බරයි.
මනස්තාපය.. චමත්කාරය ..
යට කරන් මගෙ සිත පෙලයි.
***********************************
කෝට්ටේ යුගයේ ලියා ඇති..
සඳෙස් ඇත්තේ කීපයයි.
ඒත් නළඟන මග වැනුම්වල...
මෝස්තර මල් රාසියයි.
මාත් එක්කල කිව්වෙ ඇවිදින්..
හංසයයි සැළලිහිණියයි.
ඈත් වීලලු චමත්කාරය ..
දකින්නට දැන් නෑ කියයි.
*******************************
ගහක් කොළයක් නොමැති ඉඩමට..
කැදැල්ලට විහඟුන් නොයයි.
ළඳුන් නෑ රන් ගොයම් නෙළුමට..
බූතයන් හොල්මන් කරයි.
රහක් නැති දේ අසමි දකිනෙමි..
හදවතයි ඔලුවයි බමයි.
තවත් කාලය නොමැතියෙන්....
ඈත දුර යන්නත් බයයි.
**************************************
නොයා කොහොමද මුන ගැස්සෙන්නේ ..
චමත්කාරය තව දුරයි.
කියා මා වෙත දෙනෙත් පාමින්..
සොබාදම් ළඳ ඉඟි මරයි.
"ඔහෑ " ගානා හඬක් ඇහුණා..
බිළින්දෙක් මවු කිරි උරයි.
හිනා වෙනවා චමත්කාරය ..
වැදුම් කුටියක සුන්දරයි .
********************************
පවත්නා කුණු වූ සමාජය..
මරණයෙන් ලේ රහ සොයයි.
දවස් ගානෙම මරණ.. මරවන...
කතන්දර රතුවෙන් ලියයි.
රුවක් නැති මුත් කණක් ඇහිලා...
නිදයි උන්...තනිකම සුවයි.
චමත්කාරය යළිත් හමුවුනෙ..
සොහොන් කොත් අතරින් තමයි
**************************************
2025.11.18.
Photo Credit; Scott Rodgerson
කවිය බලන්න
