අම්මේ
වත්ත කෙළවර වතුසුද්ද වැටිය ළඟ
අම්මා නිදයි සුවසේ පොළොව යට
සිලි සිලි හඬින් හමා යන මද පවන
අම්මගේ හුස්මවල සීතල දැනේ මට ....
අම්මගේ සෙනෙහෙ විල සුමුදු සඳ එළිය වී
ගත සිතම නිවාලයි අදත් මතකය දිදී
දයාබර ඇස් මැවේ සිත රිදෙන විටදී
මට ඕන සැනසෙන්න ඔය ලයට තුරුළු වී ...
සුදෝ සුදු මල් හැලී සොහොන් බිම පුරාවට
බොඳ වෙලා රුව සොයයි මේ සතර දිශාවෙම
මහමෙරක බර දරන් සිනාසුන විලාසෙට
හදවතම ඉරි තැලී ඉකි ගසයි විලාපෙට ...
ලොවම අත හැරියත් දිනෙක අපි තනිකර
අදත් ළඟ දැවටෙයි අම්මගේ ගුණ සුවඳ
පිං කඳකි මා දුටුව බුදු බව ලබන්නට
සුළැඟිල්ලෙ එල්ලෙමි වරමි ඉල්ලන්නට ....
අම්මේ මතු බුදුවෙන්න අපි එනවා සුවඳට
Photo Credit; Brian Cockley
කවිය බලන්න
