කතකගෙ නුවන
හැදිමිටෙ දිගයි ගැහැනියගේ නුවන කියා
කීවත් සිතමු තව දුරටත් හොදින් සිතා
හොද්දට හරිම ලුනු ඇඹුලේ පදම තියා
ගන්නා නිසාවත් කීවද මෙහෙම කතා
හැකිනම් දරන්නට බෝසත් පුතුන් කුස
දරනට හැකිත් නම් ඔටුනක් හිසෙහි මත
පැදවිය හැකිත් නම් යානය ගුවන මත
තව මොනවදෝ ගැහැනිය නොකරනා වැඩ
හැකිනම් දෙන්න ශිල්පය මහ වියතුන්ට
ගන්නට හැකිත් නම් ගිහි ගෙයි බර හිසට
ලබනට හැකිත් නම් මහ රහතන් ඵලය
තව මොනවා සිතන්නද ගැහැනිගෙ නුවන
නුඹ
යුත් උවන් ලිය සදිසි සුපිපුන…..තඹර
ගත් නුවන් යුග ලෙසිනි පියඹන…..බමර
රත් ලවන් ඇති නා දල්ල පරදන…..අදර
සත් රුවන් ලෙද සිත කරවන…..නතර
නෙත් කැල්මෙන් යුතු මිහිරි…..ප්‍රහාසය
රතඳර වේ සම පිපුනු…..පලාසය
සිහිනිඟ පැද්දෙන සොඳුරු…..විලාසය
රැය දිගු කරවයි සිහින…..පරාසය
ඝන නිල් වරලස ගලන…..සොභාවේ
සුළඟේ රඟ දෙන කියඹු…..ලතාවේ
සේ හස සක්මන් කරන…..රටාවේ
සිදඟන වේ මැයි නෙතද…..මුලාවේ
පුන් සිසි විලස ඝනඳුරු නසනා…..එළිය
අම රස සදිසි රස ගෙනෙනා…..විලිය
හද විල පුරා අමදය දෙවනා…..දැලිය
නිදි සුව නොදී හිත සරනා…..අලිය
කොඳ මල් සැඟවෙනා රූ සිරි පිරි…..එළලී
රෑන කිතුල් මල් සේ කෙහෙ යුත්…..ගඟුලී
දුටු කල පාන ලෙද හස දුන්…..සැලලී
ඉරු මල් සදිසි කල මැන ලෝකය…..කලෙලී
(ජීවි)තේ රසයිද ………
උණුම උණු කහට තේ කෝප්පයෙන්
ඉහල නැගෙන සුදු දුමාරයෙන්
බොඳවුණු වියැකුණු මුහුණක් මතුවී
අසරණ හඬකින් මුමුනයි ලාවට
වසර එකසිය පනස් පහක් පුරාවට
ගැලූ දහදිය කඳුළු ලේ මස් එකට කැටිකොට
පුජා කෙරුවේ තේ ගස් පාමුල – ජීවන බර මුදා හරින්නට
තේ දළු වැඩුණා කොලවන් පැහැයට
උණුවී නටනා ජලයේ තැම්බී
ජෝගුව පතුලේ සිරවී ඉන්නේ
සතුටක් නොදුටුව දුකම උරුම වුනු
මිනිස් පරපුරක් වග පසක් වෙනවිට
තේ බිඳුවක රහ – දිවට දැනේවිද
28 සැප්තැම්බර් 2021
අම්මා මමයි
මහලු මඩමේ දොරටුවෙන් මට විටින් විට උබෙ රෑපෙ මැවෙනව
පුංචි කව්ළුව සිප හමා එන සුලගෙ උඹගේ සුවද දැනෙනව.
මතක් වෙනකොට පුතේ උබ මට මටත් නොදැනිම දෑස තෙමෙනව
ආයෙමත් උබ එන්නෙ නැතුවද ,මගෙන් හිත රිදිනිදෝ හිතෙනව.
හරිම පාලුයි පුතේ මට මෙහෙ මිනිපිරියගේ සිනහ මැවෙනව
ඇපල්, මිදි ,රස දොඩම් මොකටද ,උබව දැක්කොත් හිතම පිරෙනව.
පෙනීමත් දැන් ගොඩක් දුබලයි හැමෝවම උබ වගේ පෙනෙනව.
ගෙදර ඇවිදින් උබත් එක්කල එදා වාගේ ඉන්න හිතෙනව.
වාරුවත් දැන් බොහොම හීනයි කොයි වෙලේ මං යයිද හිතෙනව
මියගියොත් මම නුබව නොදැකම එලොවෙදිත් මේ දුකම ගෙවනව.
එකම එක සැරයකට ඇවිදින් අම්මෙ කියලා කතා කරපන්
සන්දියේ වාගේ උබේ පොඩි බෙල්ල බදලා මූණ ඉබපන්
පොඩි වෙලාවක් ලගින් ඉදගෙන උබේ විස්තර ටිකක් කියපන්
මියඇදෙන්නට පෙරාතුව මන් මහලු මඩමට ඇවිත් පලයන්.
දැවෙන ගෙවල්
දිනෙක දැවෙන ගෙයක් දිටිමි
උස් ගිනි බුරබුරා නැගිනි
ගෙයි තුල මම දනන් දිටිමි
පිටවන්නැයි හඬා කීමි
නමුදු ඔවුන් ඇසී විමති ඇසින්
කිම දිව යනු අප මේ නිවසින්?
නිරතුරුව හමන සැඩ සුළඟින්
මහ වැසි වැටුනොත් අහසින්
අන් සරණක් නැත අප හට
උන් හිටි ගේ මිස පෙර සිට
ඔය කියනා ඇවිලෙන ගිනි
අප හට නම් තව නොදැනිනි
පතා තම නිදහස
ඔවුන් දැරූ අදහස
ගැන නොවී උදහස
සිත් නැගුනි මදහස
පිටව ගියෙමි නිහඬව
අන් අතකට යුහුසුළුව
ඒ නිදහස යනු කුමක් දෝ
ගෙයි සිටිම් දෝ පිට දුවම් දෝ
වසංගතේ මහ ලැව්ගිනි පැතිරෙද්දී
එන්නත පතා ලෝ දන පෙල ගැස්සෙද්දී
තම අයිතිය තකා ඇතමුන් බණ දෙස්සද්දී
උස් පොඩි ගෙවල් දස දහසින් දැල්වෙද්දී
ගෙයි සිටියොත් ගින්නට තෝ දැවී නසී
පිට දිව්වොත් වැස්සට තෝ තෙමී නසී
සැරිසැරුවොත් ලැව් ගින්නට අනුන් නසී
වසංගතේ මට තෝරා දියන් සකී
පන්හිඳක කඳුලක්
නොපා සඟවා හදේ ගිනිදැල් ලෙවන් සැනසූ කිවිඳියේ ගජමන්
සැපා ලැබගෙන උරා රතිරස ඉවත ලූ නුඹ මුදලි කෝ සුපසන්
කපා ගෙන ගෙල නුඹම සියතින් නික්ම ගියදා සදහටම මෙලොවින්
දෙපා කඳුලින් දොවා සමුදුන් ජෝන් ඩොයිලි මමයි විරහ දුකින්
එදා කරතොට සමිඳු සෙවනත කොලුවෙසක් ගෙන ශිල්ප ලද විලසේ
සදා සැඟවී නොසිටියේ ඇයි සළෙලු ඇලපාතගේ දෑසින් මිදී නුඹ රහසේ
වදා දරුවන් සතර දෙනෙකුත් පතිඳු මියැදුණු ලඳක වෙත රිසිසේ
හදා නෙක කවි හතර පද ඔහු එවා රවටා බැඳුණි රස පහසේ
ලබා නුඹගෙන් නිබඳ කම්සැප දිනෙක මතු නුඹ අතැර යනු රිසියෙන්
සබා මැදවුව නුඹෙන් ලද සැප වනා ඔච්චම් කළා ඔහු නිතියෙන්
නොබා නිති නුඹ ලඟට ආවත් කවිය අවියක් විලස ගෙන රඟමින්
සොබාවකි ඇලපාත මුදලිගෙ හඹාගොස් රැවටීම නිති අඟනුන්
මුදා ගන්නයි නුඹව ඔහුගෙන් දෙවා තනතුරු කළේ පිටමං සිවුරුහළ දවසේ
එදා මානුඹ වෙතට පෑපෙම අත්හළේ ඇයි අහෝ පා යට තණපතක් විලසේ
නොදා නුඹ සා ගින්දරේ කවි උල්පතත් රැක වෙසෙන්නට සුවසේ
සදා මට බහ දෙන්න තිබුණා හිඳින්නට පුන් සඳක් සේ අහසේ
වෙලා අසරණ පතා පිහිටක් ලියා මාවෙත එවූ නුඹගේ සතර පද කවියක්
බලා වාවනු බැරි නිසයි මම නුඹේ නමටම ලියාදුන්නේ විසල් ගම්වරයක්
කලාවට කවි හපන් වූමුත් ගැහැණියකි නුඹ සලෙලෙකුට වූ ගොදුරක්
පෙලා මාහද දවයි ඇසෙනා කලට නුඹ ලියු කවි අදත් නෙතට දී කඳුළක්
දිවිල්ල
අපි හැමෝම දුවනවා
රේස් එක දුවනවා
පාසලට යනවා
ටියුෂන් පංති යනවා
රාජකාරි කරනවා
දුවනවා දුවනවා
උයනවා පිහිනවා
අදිනවා දුවනවා
වන්වේ පාරවල්
ට්‍රැෆික් වැඩියි පාරේ
බනිනවා බනිනවා
බැන බැන අපි දුවනවා
උපන් දින සාද
විවාහ උත්සව
අවමඟුල් උත්සව
දාන ගෙවල් අඩු නැතුව
ටෙලිවිෂන් බලනවා
සින්දුවක් ඇහෙනවා
ඉද ගෙන එක තැනක
කෑම ටික කන්න
වෙලාවක් කොහෙද
අපට
වහිනවා වහිනවා
පාරවල් පිරෙනවා
ගංවතුර ගලනවා
මිනිසුන් මැරෙනවා
පව පින
කර්මය පුනරුත්පත්තිය
ඇහෙනවා ඇහෙනවා
ඒත් අපි දුවනවා
නැවතිලා බලන්න
වේලාවක් නැතුව අපි
දුවනවා දුවනවා
අපි තවම
දුවනවා
වාවන එකයි හුරු ලියනට පතිනි කුලේ
අරුණළු හෙමින් ගෙට ඇවිදින් කතා කරයි
සමනලු තවම මල් සිහිනෙක නිදා සිටියි
කඩමළු පැදුර අකුලා මුල්ලකින් තබයි
දොඩමළු නැතිව ඇය මුළුතැන් ගෙයට දුවයි
ගිනිදැල් පමණි තනියට ඇගෙ ලඟ ඉන්නේ
පරඬැල් ගැහුණු අත පය කඩිසර වන්නේ
දියවැල් දෙඇස වැද වද දී දඟ ලන්නේ
සුණුසල් බතට එහෙමයි ලුණු රස එන්නේ
දහවල මෙන්ම රැයටද වන පලා නෙළා
සවිබල තැනුවෙ දරු මුව තුළ ගුණය හලා
නිසසල සොඳුරු ආදර විල් දියට වෙලා
මහනෙල වගේ මුළු නිවසම සුවඳ කලා
පාවෙන සුළඟෙ ආ කුණු රොඩු නොමැත පැලේ
ජීවන ඔරුවෙ තනි හබලෙයි තිබුණෙ බලේ
වේළුණ නමුදු හිඳිලා දිවි දියඹෙ ජලේ
වාවන එකයි හුරු ලියකට පතිනි කුලේ…
ප්‍රේමයම පමණකි
නිම් නැති පැතුම් දහසක් පුරවා ඉඳිනා
මේ සිත අරුමයකි නොහිතූ තැන බැදෙනා
එනමුත් නුඹේ රුව නිති සිහිනෙන් දකිනා
නොහැකිය දැකගන්න මේ නෙත් යුග වලිනා
ඔබ මේ ලෙසින් පෙම් බස් තෙපුලන්න එපා
මේ ලෙස මගේ අභියස ඔබ ඉන්න එපා
මේ තරමටම මගෙ හිත පාරන්න එපා
ප්‍රේමය විනා අන් කිසිවක් ඔබෙන් එපා
කොළඹ යුගයේ සිත්ගත් කවි
වසර තිස් පහක් අගනුවර තරුණ කවි සමාජයේ (අතකස)
ගරු භාණ්ඩාගාරික නිලය දැරූ ඇම් .ඇස් .ද සිල්වා ශුරීන්
වසට අසුවක් ආයු වළඳා 2000.09.14 දින අප අතරින් වෙන් වී ගියේය.
ගම්මානයක් ගිනිගත් වන තවම දැවේ
දෙසවන් බිහිරි කොට ෂෙල් වෙඩි පහර දිවේ
මොකවත් නුදුටු ජීවිතයක තුරුණු සුවේ
මේ යුද පිටිය මට මට එතරම් කටුක නොවේ
හිම කැට ඇසුරු කොට උස් කඳුවල ඈත
වනපෙත් මැදින් එයි තද සුළඟක් සීත
වැඩ පළවලට හිර වුණු හොඳටම දෑත
කෝකිලයෝ ගයත් මට කන්කළු ගීත
නිර්දය පහර දුන්නෙමු සතියක් තිස්සේ
සතුරා බොලොඤ්ඤා වෙන් නැත පසු බැස්සේ
පාලම් දමාගෙන සිහිසන් ගඟ ඔස්සේ
කූඩාරම් ගැසිමු එතෙරව මහ වැස්සේ
පය තැබූ ගම් නියම් ගම් සතුරනට නොදී
හැම මරු සටනක්ම ජයගෙන නැතිව නිදී
බිහිසුණු ගොතික් බලකොටු පෙළ දිගට ඇදී
අපි අද ඉඳිමු ලොකු රණ පිටියකට වැදී
කවි කිය කියා ඉස්සර මා ඔරු පැද්ද
කොහොමද අනේ අද රත්ගම් ඔය ඇද්ද
ලක් මව මගේ ලක් මව ගැන පරසිද්ද
මා බිව් කඳුළු මුහුදක් තරමට නැද්ද
1942 – දෙවන ලෝක සංග්‍රාමයේ ඉතාලියේ යුද පිටියේ සිට