ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

නෙත්……..

2022-June

නොගැයූ ගීයක තනුවක් වාගෙයි
නො පිපි මලක රැඳි සුවඳක් වාගෙයි
නොදුටු සිහිනයක මිහිරක් වාගෙයි
දොඩමළු වු නෙත් පවසන විසිතුරු.

අහස පොළව එක් කරනා
සිතිජය වෙත සෙමින් ඇදෙන
රැල්ලක් සේ මගෙ සිතිවිලි
පැතුම් මවයි නෙත් හසරැළි.

වැලි කතරක පියුම් විලක්
වගේ පිපෙයි හදේ මලක්
ජීවිතයම සිහින විලක්
එහි රඟ දෙති හංස කැළක්.

නෙත් හිනැහේ තරු අතරේ
සඳ සැඟවී හද පතුලේ
පාවෙන සුසුමන් අතරේ
සිහින මැවෙයි සිත් අතරේ.

ගොළු වී ඇත දොඩමළු නෙත්
තනි වී ඇත පිබිදුණු සිත්
පායාවිද හෙට හිරු විත්
පිබිදේවිද මැලවුණු සිත්.

කොළඹ යුගයේ සිත්ගත් කවි

පී.බී.අල්විස් පෙරේරා
පී.බී.අල්විස් පෙරේරා
2022-July

වෙන්කත රංගමාල් – පී.බී.අල්විස් පෙරේරා

අන්තිම සිහල රජුගේ අග බිසොව ලෙස
පෙම් මල් උයන් වැවුවද රජ ගෙදර වැස
පසු කාලයෙහි ඔබ ලද කම් කටොලු රැස
මම සිහිකරමි දේවිය උණු කඳුලු පිස

ඔබ ගේ සිනා රැලි පුන්සඳ රෙහෙණු පොදී
මැද මහනුවර පිළිමිණි ගිරිකුළෙහි රැඳී
මතුකළ එළිය ගැන තොරතුරු ඉහල දිදී
ජෝන් ඩොයිලි ලගු සටහන් කියන ලදී

” සිරි වික්මන් රජුගෙ නායක සුරතලිය
අති රූපත් ය එ පමණටම සියුමැලිය
ඇගෙ දිගු නෙතින් පළවෙයි නිල්මිණි එලිය ”
ග්‍රැන්විල් ලියූ මේ තොරතුරු පැහැදිලිය

තුරුළුව හිමිට ඔබ සිටියදී කඳුළු පෙරා
එහි ආ අමන එක්නැළිගොඩ නමැති හොරා
බැඳි මිණි කොඩොල් ගත් සැටි කන් යුවළ ඉරා
අමතක කරන්නද ජාතිය තිබෙන තුරා

වැස්සෙන් තෙමි තෙමී දුම්බර කඳු වැටියේ
දහවල ගෙවා එළියෙන් සදැවෙල කැටියේ
ආරච්චිලගෙ ගෙට ඇතුළුව උඩ පිටියේ
වෙවුලන ළයෙන් ම ය දේවිය වැඩ සිටියේ

කන් පොතු ඉරා ලේ වගුරා දරුණු වද
පමුණා හඬන දේවිගෙ කෙස්වැටිය මැද
සැරසූ මැණික් හර ගලවන විටදි ඇද
ගිනි නොගැනුනේ උඩරට මොන පුදුමය ද?

“මට වදකරනු ඇයි එක්නැළිගොඩ දරුව?”
යනුවෙන් කියූ විට හැඳි සළු පිළි ඉරුව
ඒ ජඩයාගෙ ජඩකම් දක්නට බැරුව
මුහුදේ වැටෙන්නට ඇත ඉරබටු තරුව

වැළපෙනු බලා කණ ලේ ඇස කඳුළු පපා
දේවිය ඔබට වද දුන් තෙත් ගුණය නොපා
ජඩ මිනිසුන්ගෙ නමවත් මගෙ කණට එපා
නළලින් පිසින්නෙමි සියුමැලි ඔබගෙ දෙපා

මද්දුම බණ්ඩාර පුතුට….

2022-July

කොළඹ නගරෙට මහ දුරක් නැහැ
උඹ මැරුණු මහනුවර ඉඳලා…
නොමැරුවත්, උඹ වගේ පොඩි උන්
අදත් නොදැනිම යනවා මැරිලා…
“මැරෙන හැටි” නං පුතේ මොකටද..
තවත් එකෙකුට කියාදීලා…
කියාපන්,මිය ගියත් විරුවකු
වෙන්න පුළුවන් සටන් කරලා..

බන්ඩාර මද්දුම පුතේ උඹ
මැරෙන හැටි තව වරක් හිතපන්….
මැරෙන්නට බය නැති උනත් උඹ,
අවසාන මොහොතෙත් සටන් කරපන්…
දංගෙඩිය උඩ හිස තියන්නට
කලින් රජුගේ දිහා බලපන්…
පරයෙකුට බිය නොවන බව
මහ රජුට උඹ කෑ ගහලා කියපන්……

2022.06.25

බඩුව

2022-July

නිමිත්ත : අංගම් ශිල්පය ප්‍රශස්ත ලෙස ප්‍රගුණ කිරීමෙන් අනතුරුව එම ශිල්පයෙ කෙළ පැමිණ පෙළහර පානා ස්ත්‍රීන් වෙත පුද කරනු ලැබූ ගෞරව නාමය ” බඩුව” නම් වේ.

උකුසු ඇස් සහ මොනර කන් ඇති
වඳුරු පිමි සහ කොටි ගමන් ඇති
වල ගැහෙන කම්මුල් දෙකක් ඇති
ඈ තමයි ගමෙ බඩුව ‘චින්තනි’

දික් ගුටිය ලෙන් පහර අත් දඬ
පිඹුරු ගැට සහ කතිර ගැට ටික
අංගමින් නිල තබා අල්ලන
ඈ තමයි වෙද ඇදුරි බන්ධනි

කෙසෙල් ගොබයේ පෙති කපාගෙන
පහළ සිට ඉහළට ම දුව යන
අංගමෙන් මුළු ගම ම කලඹන
ඈ තමයි අපෙ සළඹ පත්තිනි

ඇල්ල ලඟ ඇති පාළු ගල උඩ
යෝග වඩනා ඇයව සොයමින
කොළඹ දේසෙන් මහත්තුරු විත්
ඇසුවා මාගෙන් ඇයගෙ සංසිධි

සියලු විස්තර අසන් සිටි අය
ඇයව නොදැකම යන්න යන විට
ආ පයින් ඇයි යන්න හැරුණේ
ඇසුවා හේතුව කරන් සෝදිසි

බඩුව නම් ඇය අපට නොහොබියි
කියද්දී උන් සිනා බිඳගෙන
ඇගේ ගෞරව නාමෙ අංගම්
‘බඩුව’ බව මම කීවෙ සන්සුනි

මහත්තුරු ටික හැරී ආයෙත්
සමාවත් ගෙන අනේ මාගෙන්
ගියේ ඇල ගල් පොත්තෙ හිදිනා
දැකගන්න අපෙ ‘බඩුව’ චින්තනි

“සකද මලයි බබළු වැලයි” කාව්‍ය සංග්‍රහයෙන්.

දියණිය පාලමෙන් ගඟට දැමූ අම්මාගේ ගීතය

2022-July

ගෙදරකට වැඩකාර කමටවත් දෙන්නටයි
උඹ උපන් දින මගේ හිත ඇතුලේ දැවටුනේ
උඹ මගේ බඩට ආ හැටියවත් දන්නේ නෑ
දිළිඳුකම නිසාමයි මං හිතන්නේ දුවේ

කුලී වැඩ ලැබෙන්නෑ මේ දවස්වල දුවේ
හිඟා කන්නට තමයි වෙන්නෙ අද හෙට වගේ
බඩගින්නෙ නිදන උඹ කෙඳිරි ගානා සද්දෙ
ඇහෙනවිට මගේ හිත වාවන්න බෑ දුවේ

දිනෙන් දින දිරා යන උඹේ ඇඟ දිහා මට
බලා ඉන්නට බැරිම තැනයි මම දුව ගියේ
වේලකින්වත් උඹේ බඩ ගින්න නිවන්නට
බැරිම බැරි තැනයි මට පිස්සු වැටුනේ දුවේ

බුදුන් ගුණ හිත හිතා අවසිහියකින් වගේ
පාලමේ කෙළවරට මම ඔහේ ගියෙ දුවේ
ලබන ආත්මේදි වත් හොදින් ඉන්නට පතා
දෙන්නාම එකපාර මැරෙන්ටයි මගේ දුවේ

ඊට පස්සේ දුවේ මක් උනාදැයි කියා
හරිහමන් කල්පනාවක් තවම නෑ දුවේ
උඹේ අර හිනාවෙන් මුළු මුණ පුරෝගෙන
මගෙ ලඟට වරෙන් මගෙ රත්තරන් පොඩි දුවේ

මව් සෙනෙහස…….

2022-July

බලා පෙර මඟ නිතින්
දයාබර නෙත් දෙකින්
පැතිර වූ සෙනෙහසින්
දිවි ලදිමි ඔබ වෙතින්.

දවා ඝන’දුර ලොවක
දිරිය වී හැම විටක
සෙනෙහසින් වී මවක
පහන් සිල විය සිතක.

දිනන්නට ලෝකයක්
වඩන්නට දේශ යක්
මවන්නට සිහිනයක්
වීය මට ලෝකයක්.

පිය සමඟ එකතු වී
අප සැමට සරණ වී
අපගෙ නෙත් දල්වලා
ඔබ ඇතේ සැඟවෙලා .

ඔබේ ළඟ රැඳි ගුණ සුවඳ මිස
නොමැත අද අප හැදු වැඩූ කය
පාව යන සිත නැවති මොහොතක
මවුනි ඔබෙ රුව දකිමි සිහිනෙක.

සමරු සිහින

2022-July

හැන්දෑ යාමයේ අනෝරා වැහි වැටන
දෝතට ගනිමි මම හඳක් විලසින් පෙනෙන
එක පිම්මේ දුවන උණුසුමක් තෙත බරිත

අමුත්තෙක් ආ විගස උණුසුමෙන් පිළිගන්න
කුඩා කල පුරුද්දට උකුල මත්තට පනින
ළදරුවෙක් මෙන් පෙනේ යෝද සිරුරක ඉන්න

දවසේම ළඟින් හිඳ ඉර හැරෙන්නටත් පෙර
පුරුදු ඉරියව්වෙන්ම නිදිද අද නිහඬවම
නිසල නෙත් වැසී ඇත උණුසුමයි තවම හිස

සිසිල දෙන කරඳ ගහ යටින් බිම හාරලා
පොද වැස්ස නොතකමින් විදුලි පහනින් බලා
පස් දෝතක් ගනිමි සීතලයි ඒ උණුසුම

ඇසළ පෝදා දුටු දසුනක්

2022-August

ඇසළ පෝදා දුටු දසුනක්

මලයණ්ඩියා රෑ සිහිනෙක හැඬුවාද
අපි දිවි ගෙවෙන හැටි දිවැසින් දුටුවාද
පේරාදෙණියෙ සිට අහසින් වැඩියාද
යාන්තමින්වත් කුසගිනි නිවිලාද

කඳුළු විදින තැන් මැද්දේ හිටියාද
ජාතක කතා වෛවර්නෙට පෙනුනාද
කුළු පොලු වලට අතපය දෙක රිදුනාද
කැකිල්ලේ කොසොල් සිහියට නැගුනාද

ගින්දර ලිපේ තවමත් දැල් වෙනවාද
මොන මොනවා නමුත් තැම්බෙනවා ඇද්ද
මහ පාරටම දෙමාපියන් වැටිලාද
නිදි නැති රැයක හිත චංචල වූවාද

හිරේ විලංගුවෙ පැටලෙන්නට වේදෝ
වානේ පන්නරය එතකොට දැඩි වේදෝ
අව්වේ තිබෙන රැස් මාලා අඩු වේදෝ
හිමි සඳ දිනෙක සසුනඹරට පායාදෝ

13.07.2022

සෙනෙහස

බදුල්ලෙ ගම ප්‍රියංගනී මැණිකේ
බදුල්ලෙ ගම ප්‍රියංගනී මැණිකේ
2022-August

උපන් දවසෙ සිටම සෙනෙහස දැක්කුවා හැම දෙනාම..
මෙවන් ගතියක් මිනිස් ලෝකෙට වටින කරුණකි මනාම..
ලවන් අතරින් ගලන සිනහව දෙනු මැනවි හැම කෙනාම..
නොවන් අමිහිරි හැඟුම් දීමක් ගනිමු දිවි මඟ දිනාම..

ඇත් කුලේ ඇතිනියට පැටවෙකු ලැබුණු විට රකිනව වගේ..
මත් නොවී රාගයෙන් හැම කල බලමු දරුවන්ගෙද දගේ..
සිත් සතන් මත පහන් හැඟුමන් ගලා ඒ මාවත දිගේ..
සත් සියක් කල් උවත් යා හැක දිනුම එය යැයි මට හැඟේ..

පුංචි දරුවන් දෙනෙත් අතරින් මිදී යන විට ලෝකෙට
අංචි අදිමින් අකුල් හෙළුවොත් වැටෙනවා මයි සෝකෙට..
හිච්චි කාලෙදි සැලකුවා වගෙ වතුර දම දම සාකෙට..
කොච්චි කරලක් විලස නොම වී පිළියමක් වෙමු මේකට..

ලකට හෙටක් ?……..

2022-August

කුණාටු මැද රුදු සයුරක
සීතල පිරි හිම කතරක
මල් නොපිපුනු වැලි තලයක
ගිනි ගෙන ඇත රට මොහොතක.

නෙතින් කඳුළු කැට හෙමිහිට
දහසක් මල් වැළපෙන විට
නෙතු දල්වා හිස් අහසට
සුසුම් පාව යයි සුළඟට.

නොමැත සහන් නිමේෂයක්
මැළවෙන තරු අනන්තයක්
පැතුම් කඳුළු ප්‍රපංචයක්
නොදකින හෙට වසන්තයක්.

අමන කැළක් රජ වී ඇත
නිමල පැතුම් ගිලිහී ඇත
ලක් මව වැළපී කඳුලින්
දහසක් මල් පරවී ඇත.

නිල්වන් කෙත් නැත සරුවී
රන්වන් කරලුත් හැකිළී
දුප්පත් දන ඇත ගොළු වී
පින්වත් ලක නැත සසිරී.

කියනු කා හටද සෝකය
දරණු නොහැක සංතාපය
කැකුළු නඟන දුක් ලාපය
කාට වැදෙනු ඇත සාපය.