ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

නූපන් පුතුට…..

2023-January

චුරු පනින මඩ ගොඩක දවස ගෙවුවද ඔහේ
සුදු නෙළුම් නොපිපුණයි කිසිම දිනයක මෙහේ
නෙතු කොහොම දකින්නද ඇතෙක් හීනෙන් රැහේ
මතු රජෙක් නොවුනාට රකිමි තබමින් ඇහේ

ගසා අතපය ඔබේ කිති කවයි හිමින් කුස
නිවාලයි මොහොතකට ගිනි ගැනුණු මගේ හිස
දරා දුක කෙලෙස හෝ දරමි ඔබ මසක් දස
පතා හෙට නගන්නට මුව පුරා නැගෙන හස

තාරුකා ඉඟිමරයි අහස පැහැදිලි දිනක
පායනා හිරුඑබෙයි මැදියමට ළඟ පැයක
ගායනා ස්වර ඇසෙයි අහස අඬනා විටක
ඒ තමා හිස වහළ සෝක නොම ගනු සිතක

වකගසා ලණු ඇඳක නරකෙසින් හිස පිරුණු
ගත දරා හැම රිදුම් දවන තරමේ දරුණු
මළ කෙනෙක් නැති නමුදු මළ මුවක රඟ රැඳුණු
අය මෙහේ හමුවේවි පිටට බඩ පොතු ඇලුණු

මහා මයා නොවෙමි සත් දිනෙන් මග හැරෙන
දරා ගෙන ළඟ ඉඳිමි කිරි මවුන් නැති බැවින
කියා නිබ්බුත පදය නැතෙන් මා ගැන නිවුන
දවා අළු කර දමමි උන් ඔබට වින කටින

දැවෙන මලකින් පැණි කුමට

2023-January

අම්බලම් පාලුවක් වාගේ
දොර පියනෙ මහ හිල් ගොඩක්
හත්මසක් දිය නොදැක නාහේ
කඩාගෙන ගියෙ හඩු ගඳක්
ඇස්ඇරන් පය තිබ්බ බෝදේ
සෙව්ව දැක්කෙම කළුවරක්
අත්දෙකෙන් ඇද ගත්ත මාගේ
හුස්ම හිරවුනෙ මහ ගොඩක්

තත්පරෙත් වටිනව මහත්තයො
ගලවපන් ඔය ඇඳපු රෙද්ද
බොත්තනුත් පනිනව ඉලව්වෙම
ඇයත් ආවනෙ පද්ද පද්ද
පන්දමක් ගත් කපුව පැරදුනෙ
හැඟුම් දුම්මල වරම ගද්ද
හිල්උනෙත් පිපි බැලුම එකවර
දිරපු ඇඟපත වරම් දෙද්ද

ගිලුණු ඇස් බිම බැලුව තිසරුන්
කෙසඟ අතපය නිවට කමට
කුමට සතුටක් නික්ම යන්නම්
සිම්බෙ නළලත ලංව තදට
නැතිද අභිසෙස් මොණරු ගුලිකර
අතේ තැබුවද හොරෙන් උඹට
බරයි හදවත තවත් උන්ගෙන්
බේරුමක් නැති වෙයිද මලට

මිහිරැති දඬුවම

2023-January

මේ ශුෂ්ක බිම තක්සලාවයි
දිසාපාමොක් වරු හැරි හැරී යන
පතොක් මල් පමණක් නොව
බොහෝ සුවඳැති කැලෑ මල් සුපිපෙන

අත්දැකීමෙන් උගන්වමි
ධර්මය පොතේ නැති “තාදිය”
ඇපල් ගෙඩියක් නොදුටු එවුනට
පොරොවෙන් පටන් ගමි “හෝඩිය”
දැකුළු මල් උයනේ විරාජිත
වේවැලද බොහෝ සංවේදිය..
කේඬෑරී මුහුණකට , කහට පිරි ඇඳුමකට
සාහසික නමුදු උගන්වමි ,
පෝෂණය, ස්වස්ථාව ආදිය

කුස නොපුරවා හිසක් පුරවන්න එන පැටව්
දකින්නට ලැබීමම ඛේදයක්
සම්පතක් බෙදෙන හැටි උගන්වා නැත තවම
ඉගැන්වීමම උන්ට වේදයක්
හර ලවය පෙන්වමින් භාගයක් විමසනා
දරුවාම එක විෂම භාගයක්
අඬන්නද හිනැහෙනුද හිතා ගනු බැරි තැනෙක
පපුව හා මොළය සංවාදයක්

මේ ශුෂ්ක බිම තක්සලාවයි
දිසාපාමොක් වරු හැරි හැරී යති
කොතන පිපුණද සුවඳ විහිදිය යුතු බව
උගන්වමි..කර පෙන්වමි..
මිහිරැති දඬුවමට තුති!!

සිතට දහිරිය අරන් එළියට බහිමු දැන්වත් පවු නැතේ

2023-January

හාමතේ හඬනා පැටවු දැක මාපියන් සිත් ඇවිලෙතේ
රටේ සම්පත් පිටට විකුනණ උන්ට පමනක් වෙයි සෙතේ
බළය අරගෙන කවුන්සිලයට ගියත් පහරයි දස අතේ
කොමිස් ගහනා එවුන් එමටයි නොදත් අකුරක් මල පොතේ

උගත් කිව්වත් රට කරන්නට මොළේ කලඳක්වත් නැතේ
මටයි පුළුවන් කියා කිව්වත් දිනෙන් දින ණය වැඩි වෙතේ
බෙහෙත් නොමැතිව රෝ බියෙන් දරු පැටව් අකලට මැලවෙතේ
කටට එනදේ කිය කියා මහ එවුන් වැජඹෙයි හිතුමතේ

රටේ ජීවිත සමග සෙල්ලම් කරනවුන් තව වැඩි වෙතේ
දෙඅත් පොරවා අහස බල බල කඳුළු සැලුවට නෑ සෙතේ
මෙතෙක් කල් දිවි රැකල දුන් ණය ගෙවන්නට කෑ බත් පතේ
සිතට දහිරිය අරන් එළියට බහිමු දැන්වත් පවු නැතේ

කුරුළු මන්දිරේ

2023-February

යළිත් වරක් කුරුළු ජෝඩුවක් ඇවිදිල්ලා
අපූරුවට චූටි හොටෙන් කෑලි ගෙනල්ලා
නැකැත් බලා පාන්දරින් එහි වැඩ අල්ලා
හවස් වෙන්න පෙර සෑදුව ගේ මනලොල්ලා

ඇඟේ තරමටත් වැඩියෙන් ලොකුයි ගෙනා කොල
පුංචි වුනත් හිතේ තියෙන ලොකු දහිරිය බල
මිහිරි පැතුම් පොදිබැඳගෙන ආදර හිත් තුල
කූඩුව නිමකරනාතුරු උන් නැහැ කලබල

ගිය පාරත් මෙහෙම ඇවිත් සෑදුව කූඩුව
අතැර ගියේ පැටව් හතර දෙනෙක් සමග නෙව
ඉගිල්ලෙන්න තටු සලමින් උන් හැටි දැඟලුව
බලා ඉද්දි හිතට දැනුනෙ පුදුම තරම් සුව

අගේට හැදු කූඩුවෙ එළිපත්තට ඇවිදින්
උජාරුවට වටපිට සිරි නරඹනවා උන්
මෙහෙම තැනක් වෙන කාටද ලැබෙන්නෙ සිතමින්
ඉන්නා පාටයි පෙනෙන්නෙ උන් සිත සතුටින්

සැකක් නැතිව චූටි පැටව් ගොඩක් හදාපන්
දුකක් නැතිව ඉන්නට හැකි බවම සිතාපන්
කුමක් වුනත් මැද සාලේ – සතුටින් ඉවසන්
නොවක් පැතුම් ඉටුවෙන හැටි බලා හිඳිමි මන්

මුල් ගල්

2023-February

සුභ නැකත එළඹ ඇත,
පාන් පැල දල්වන්න
ඉටු දෙවිඳු පුදන්න
අපටම පියැස්සක් තනන්න
නමෝ විත්තියෙන්,
මුල් ගල තියන්න

මින් පෙරත් මෙතැනම,
කීයක් නම් ගල් බැඳෙන්නැතිද,
කීයක් පැල් කොට තැන්නෙන්නැතිද,
කොපමණක් කිරි සිනා නැගෙන්නැතිද,
ඇටකටුම කොපමණක්,
මිහිදන්ව යන්නැතිද…

තව සිය වසක් ගිය තැන,
තවත් මුල් ගල් මෙහි තැබෙනු ඇත..
අපේ මතකත්, ඇටකටුත්,
ඉතින් මිහිදන්ව තිබෙනු ඇත…

සමත් /අසමත්

2023-February

මව් කුසේ උණුසුමට ගුලිවෙලා සිටින විට
කඩිමුඩියේ දෙමව්පියෝ ඉන්න තැන මාරුකොට
ලඟම ලිපිනයක් ගෙට සොයාගෙන පාසැලට
වින්ද වේදනා මට නැතුව ඇති දැනෙන්නට

උදේ පාසලට යමි හවස ටියුෂන් එකට
දුවමි ගිල දමා පොඩි වූ බනිස් කට දෙකට
ඉක්මනින් ළමයෝ අපි පරක්කුයි පංතියට
අම්මගේ දේසනා හුරුයි දැන් මගේ කණට

සහලෝලා උණ අපොයි යන්න බැහැ පංතියට
විස්සෝප වෙලා ඇය නැහැ වගක් මගේ ලෙඩට
හිමින් සීරුවේ ගොස් පසුම පෙළ වී කොනට
පංතියේ වැඩ ලියාගෙන ඇවිත් දුනි මෙමට

එකේ (1) සිට පටන් ගෙන රටා වල ඉලක්කම්
ගුරුතුමී කියාදෙයි මවන හැටි හපන්කම්
මගේ සිත වෙල්යායේ කරන විට සෙල්ලම්
කෙලෙස සන්සුන් වෙලා පංතියේ සිටින්නම්

ප්‍රශ්න පත්තර පොත්ද මේසයේ පුරාවට
කිසිත් නොපෙනේ මාව යටවෙලා පොත්වලට
වෙහෙස වී යොමුකලා සිත ඉතින් පාඩමට
ඇඟිලි තුඩු රිදෙන තුරු ලිව්වා මම විභාගෙට

දන්නවද ශිෂ්‍යත්වේ ප්‍රථිපලත් පිටවෙලා
මුහුනුපොත පුරාවට නම්, රූප ගොනුවෙලා
වෙනදා මෙන් නැහැ එලිය ගෙදෙර අඳුරට වෙලා
ඇය හූල්ලන හඬත් සුළඟටම මුසුවෙලා

නැහැ කලේ සෙල්ලම්, දුකයි මගේ පොඩි හිතට
මුළු දවස ළමා කාලය ගෙවුනා පංතියට
“අ ” යන්නත් පෙරගමනේ නැතිව එක (1) ලකුණකට
නොහැකිවිය මව් මුහුණේ පුර හඳක් මවන්නට

කිරිල්ලියක් මම

2023-February

කිරිල්ලියක් මම – කිරිල්ලියක් වාගේ

ඉගිලෙන්නට තටු – ඉගිලෙන්නට තටු – නැවත ලැබුනා වාගේ

හිස් අහසේ තනි වළාකුළක නැග පාවෙන්නට ඕනේ

කුරුලු ඇසින් මට – කුරුලු ඇසින් මට- ලොව දකින්න ඕනේ

දුටුවා දවසක් අම්මා කෙනෙක් අනේ අහස බලා සිටියා

ලගට කරන් මම ඇහුවා ඈ ගෙන් මොනවද ඕනේ කියා

සිනාවෙලා ඇය මාහට පැවසුවේ

චපල හදක් ඇති සැමියා ගෙන්

ඈ දැන් නිදහස් කියා

දුටුවා දවසක් චූටි දුවක් අනේ අහස බලා සිටියා

කණට කොඳුරා ඇහුවා ඈ ගෙන් මොනවද ඕනේ කියා

සිනාවෙලා ඇය කණටම ළංවී මට රහසක් කිව්වා

මලක් තලන්නට ආ හොර ඹබරෙක්

ගුටිකා පැනලා ගිහින්

දුටුවා දවසක් මහළු මවක්අනේ අහස බලා සිටියා

ඉගිල්ලිලා ගොස් ඇහුවා ඇයගෙන් මොනවද ඕනේ කියා

සිනාව රදවා ඇය කිව්වා මට

අන්තිම සුසුම හෙලා

මිහිදන් කරන්න මේ මගෙ කුණු කය

ඈ හැදුු දරුවන් හැර ගොස් ඈව මෙදා

ජාන විකෘතියක්

2023-February

හීන් හඬින් කෑ ගසනා බඩ පණුවනි අසාපන්
වාන්වෙලා ලිග්ගල් තුන පස් හින්දම බලාපන්
හාල් හුණ්ඩුවක් නැතිවම බඩ අකුලල නිදාපන්
මාන්දමට වාගෙයි ඇස් වළ ගැහිලද කියාපන්

පාන් නැතිලු කේක් කන්න කාසි ඇන්න දුවාපන්
ගාල් වෙන්නෙ අම්බරු රැළ දීනකමද බෙදාපන්
නාස් ලණුව දාගෙන උන් නැතිද කියල සිතාපන්
දාම් අදින ඉත්තො වගේ තම වරිගෙම නසාපන්

හාංකවිසියක් නොදන්න බහිරව කට පුරෝපන්
පාත් වෙමින් සුසුම්නාව දෙකඩ කරල පුදාපන්
ගාත් වලින් බඩ ගාගෙන දත නියෝන සිටාපන්
ආන් එහෙම පරගැතිකම ජානවලට කවාපන්

අතීතය කුමට ද

2023-February

අසිරිමත් බෝ ගසට කර අනිමිස ලෝචනය
මුනිඳුන් ති ලෝගුරු අපහට දුන් පණිවිඩය
සීමා වුනේ පුංචි කථා වස්තුවකටය
හේතුව නුඹම නොව මේ අබුදස්ස කාලය

උදයේ දහවල සවසම වෙර දැරුවේ
යන්නටයි හීනි පෙත්තටම සීරුවේ
වේනම් දෙයක්‍ සුදුස්සාටම අයිතිවේ
අන්අය කුමට ඒගැන මේ කසුකුසුවේ

හෙළ පහු උනාම කුමට ද ඒ හැරමිටිය
ඉරපෑයූ විටදි කුමට ද සඳ එළිය
මහිදන් කරනු මැණ ඒ කලු අතීතය
මූසිලයන්ට ගසනා වුන් පාදඩය