ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

ෆෙඩරල්

ෆෙඩරල්

සුනිල් ලීලානන්ද පෙරේරා - රත්නපුර
2022-May

දිමි ඉන්නවා ගස් උඩ ගොටු ගසාගෙන
කඩි ඉන්නවා ගස් යට ගුල් හදාගෙන
නෑ කිසිදාක උන් පිටපොට ගසාගෙන
නෑ මියගියේ උන් අනිකා මරාගෙන

දිමියන් විටෙක පොලවට බැස ඇවිද යති
කඩියන් එලෙස ගස් නැග විපරම් කරති
මායින් පැන ඇතැයි අවි අයුධ නොගති
අදටත් මේ දෙගොල්ලොම යහතින් වෙසෙති

දිමියා රතුයි ගොටු අමුනයි රටාවට
කඩියා කළුයි ගුල් හාරයි වකාරෙට
බැරියර් චෙක් පොයින්ට් නෑ ඒ සමාජෙට
උන්ගෙන් ඉගෙනගමු පාඩම් තකා හෙට

බාලේ අපිත් උන් රිදවන්නට හැදුවා
බලයෙන් එකිනෙකා හටනට ගෙන ආවා
තුත්තිරි රා පොවා කොටවන්නට හැදුවා
මග හැර ගියා, උන් මතු යහපත සිතුවා

දිමි කඩි අතර නෑ නෙක සිද්ධස්ථාන
රජ හෝ පූජකයො නෑ පිං බත් ගිලින
මීඩියා මහත්තුරු නෑ රට ගිනි තියන
කඩි දිමි සාමයට මුල මේවා දැයි සිතින