ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

හෙල්මළුවෙ තනි ගෑනු

හෙල්මළුවෙ තනි ගෑනු

සචී ජයවර්ධන
2023-April

පරපුටුම හිත් වටට හීන් හැඩපළු ගෙතුව
ඉරි තැළුණු දෙතොලතර තෙත් නෑර එල්ලෙන්න
බීර රත් පපු අඩිය කහට වක්කර තදට
වාරු නැති ජීවිතය නූල් පැටළුව තරම

තාර රත් දුමාරය පෝරුවක වැක්කෙරුව
දුම් නගන සෙත් පැනින් පරපුරම පැන් වඩන
පේ කරපු ශ්වේත සළු මැදියමෙත් නොකිළිටිව
ආයෙ ආයෙත් එඹෙන සුහුඹුලේ මධු සමය

තනි තනිව එළි හොයන අමාවක හඳ පළුව
අඳුරෙ වුව මඟ සොයන මං නැතුව මං එක්ක
කඩුල්ලට උඩින් පැන පංගලමේ එළි බැස්ස
තනි ගෑනු තවත් ඇති හෙල්මළුවෙ ගමන් යන