ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

හිටි හැටියේ ඇඬෙනවා

හිටි හැටියේ ඇඬෙනවා

සුනේත්‍රා අලුත්දුන්නෙ - මාතලේ
2023-March

අප්පච්චි
තවමත්
හිටි හැටියේ
ඇඬෙනවා මට
දකින කොට
හැන්දෑවේ
මුවගල කන්දේ
වැටිසේයාව

යන වේලේ
ඉර අවරට
රතු විල්ලුද
පලස අහසේ
එළාගෙන

ඒ තමා
අප්පච්චි
හරියටම
වැඩ ඇරිලා
ගෙදර එන වෙලාව
හිනා කටක්
පුරවාගෙන
මහන්සිය හංගාගෙන

බයිසිකල් අසුනේ
පිටිපසින් එල්ලූ මල්ලේ
කවදා ද වැරදුණේ
මල් ඉස්කෝතු
ළා රෝස පාටින්
ළා කහ පාටින්
ළා කොළ පාටින්
අයිසින් බිංදුවක්
හිටවපු?

එහෙමත් නැත්නම්
නාරං බික් මුළක්
තැඹිලි පාට
කහ පාට
ග්ලූකෝස් දවටපු

සීනි කූරු හතරක්
රෝස සුදු ඉරි වැටුණු
දෙකක් අයියාට
දෙකක් මට

අඩුම තරමේ
දම්,කොළ, රෝස
සුදු ,තැඹිලි
මී බෙටි සීනි බෝල
අහුරක් වත්
නොවුණු දවසක්
නොතිබුණු තරම්

කන්නත් ඉස්සර
කඩචෝරු
මං බලන් ඉන්නේ
එල්ලනකල්
බෝල කූඩුවේ
අප්පච්චි ඇඳගෙන ඉන්න
සුදුපාට කමිසේ

ඉඹිනවා මං හොරෙන්
දාඩිය සුවඳ බලන්නට
ඒ තමයි මට දැනුණ
මිහිරිම සුවඳ මේ ලෝකේ

දැනුත් දැනෙනවා මට
හුදෙකලා සවස් කාලෙක
ඒ සුවඳ

අප්පච්චි
ඒ තරම් සුවඳක්
විඳලා නෑ
කිසිදාක මං
මගේ ජීවිතයේ