ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

හංස විල වියලී

හංස විල වියලී

ඩී. අමරසිරි ගුණවර්දන - නවසීලන්තය
2022-February

රළු දූලි පිරි සුළඟෙ දැවටී
සෙවන යටදී කළු වලාවේ
සිනා නැතිවම අපව හමුවී
පිය නගන්නෙමු ගෙන දිරී

හංස යුවලක් ලෙසින් දිදුලන
අපගෙ හද ගොළුවී නැතී
දුක දරා රස විඳින පහසින්
සතුට සිසිලස වී එතී
හංස විල කලතා අවුල් මැද
සසල වෙනු කුමටද නිතී
ජයන්තය දෙස බලා පිහිනමු
කටුක දිය හිඳි විල අපී

රජුන් බිසවුන් මත්සරව නෙක
අවිචාර රංගන නටා
කළඹලා රන් හංසයින් දැන්
අනන්තයෙ නොපෙනී යතී
සැඩ සුළං මැද අව් කාෂ්ටක
අපේ දිරි නොනැසී රැඳී
ජයන්තය දෙස බලා පිහිනමු
කටුක දිය හිඳි විල අපී

රළු බොරලු මඩ පාගමින් යන දෙපා ඇවිදින් සිප ගනී
දළු නෙලන කුදු ලියන් පානා සිනා සිත් සනහා යතී
දහදියේ සුවඳත් කැටුව එන සුළං පොද සිසිලස දෙතී
මල් පිපී විල දියෙන් පිරෙනා වැහි කෝඩ දිශ්නය දෙතී