ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

සොච්චම් දේවල් ….!

සොච්චම් දේවල් ….!

අනුවාදය: බන්දුල නානායක්කාරවසම්
2021-January

ඈ මා හට කීවාය ;

“මට තේරුම් ගන්ට බැහැ
පුංචි පුංචි,
නොගිනිය හැකි දේවල් වලට
ඔබේ ඇති නොහිම් ආශාව ”

අහෝ….!

මා හට කිසිදු දිනෙක ඈ හට පෙන්වනු නොහැකි වෙයි
මගේ හදවත “අයස්කාන්ත කම්පනයෙන්” පෙලන ලද
මෙවන් පුංචි, නොගිනිය හැකි සේ ලොවට පෙනෙන
අල්ප දේ තුල ඇති අනල්ප අසිරිය….!!!
මොනවාද ඒ අල්පව ලොවට පෙනෙන,
මට මහාර්ඝ සම්පතක්ව පෙනුණු දේවල්….?
කමා කොට අසනු මැන …!

විසල් පුලින තලාවෙක, වාලුකා පදාසයක
මුහුදු ලිහිණියෙකුගේ සිහින් පා සටහන්…!

හිමේ ගී ගයන රතු විල්ලුද පලසක් බඳු පපු තලයක් ඇති
රොබින් කුරුල්ලෙකු බඳකින් බිමට වට
සුසිනිදු පියාපත ….!

රතුම රතු, පච්ච රතු රෝස මලෙක
පහල ගර්භයෙහි වැඩෙන
අසිරිමත් පරාගධානිය ….!

මුහුද, අහස මේ කොහිත් නැති
අමුතුම නිලක් තවරාගත් ‘ස්කෙබියස් ‘මලක
දම් පෑ මුසු නිල වර්ණය…!

නිර්මල හිම කැටියක මහිමය….!

තුරු පතෙක දිදුලන
පිනි කැටයක ගුප්ත වර්ණය….!

මීමැසි බඳක දුඹුරු කබායෙහි විල්ලුද වයිරම…!

පොලෝ යට දවසරින
විල්ලුද බඳක් ඇති
මෝල් නම් අහිංසක සතෙකුගේ
රෝස පෑ සුමුදු දෙපා…!

පරෙවියෙකු ගෙලෙහි හා උගුරු පෙදෙසෙහි
විජ්ජුලතා නටවන ඉර එලිය…!

අළු පෑ ගෙලැ’ති
නිල්මිණි නෙතැ’ති
‘වුඩ්වුඩ් රෙන්” විහඟ කැදැල්ලක අභිරහස් සිදුරු තුළ ඇති ආදරනීයත්වය…!

පලා පෑ වදුලේ නිවසන කැලෑ මී පොව්වෙකු පලා යන හුරතලය…!

රෝස මලෙක, මල් පෙත්තක
අසිරිමත් චක්‍ර රේඛාව…!

කළු කුරුමිණියෙකු පසු පස දිදුල
දීප්තිමත් රක්ත – කාල වර්ණ මුසුව…!

පට නූලෙන් වියමන් කළ වැනි
වරා මලෙක සුසුදු දුහුල…!

ඉර එලියක පෙරැළෙන සයුරු පෙණ කැටියක රැඳි සුසුදු පුල්ලිය…!

තඩාගයෙක දිලිසෙන දුඹුල් තෙතබරි බොරළු කැට…!

අහෝ අහෝ ඈ කිසිම දිනෙක
නොදකිනු ඇත…
ඈට නොවැදගත්ව පෙනෙන මේ පුංචිම පුංචි දේ වල රැඳි
තුමුල, තේජාන්විත, අයස්කාන්ත අසිරිය…!

එංගලන්ත කිවිඳිය Theresa Hooley ගේ LITTLE THINGS නිර්මාණය ඇසුරිනි