ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

සුනාමියක විපත

සුනාමියක විපත

හේමා ඩෙප් - ලන්ඩනය
2023-January

උනුසුම සිසිල අතරට සම ගුණය ඇති
ලොව කිසි තැනක ඇත්තේ වෙන රටක් නැති
ලංකා පුන්චි කුමරිය පින් කඳක් ඇති
ලක්දිව අපේ මුතු ඇටයයි නමක් වෙති

ලස්සන සයුර වටකර ගෙන සිරිය පෙනේ
වටිනා මැණික් සම්පත් ඇති රටක ගුනේ
ඉපදෙන්නට වරම් ලැබ ගෙන ගොදුරු වුනේ
ඉක්මන් වුනේ සමු ගන්නට ඇයිද අනේ

නොසිතූ විලස මහ ජල කඳ දිව එද්දී
දරු පැටවුන් ද මා පිය තුරුලට යද්දී
පිහිටක් පතා ගෙන මර හඬ පැතිරෙද්දී
අත හැර ගියේ අල්ලන්නට බැරි වෙද්දී

අහිමිව සතුට සාමය බිලි ගෙන එද්දී
කළ පව් කිමද මෙලෙසට හද ගිනි ගද්දී
සයුරේ රැල්ල කැත කරගෙන පෙරළෙද්දී
ආවේ හොරෙන් දෙවියන් හට නොපෙනෙද්දී

ජීවත් වුනත් ගේ දොර අද අටව ගෙන
ආදර බිරිඳ සැමි නැත අද සොයා ගෙන
දරුවන් නගන හඬ සුළගේ පැතිර එන
ජීවත් වෙන්නෙ අද ඉතිරිය ගෙවා ගෙන

හිතේ ඇවිලෙනා ගින්දර නිවන්නට
සයුරේ ජලය මදි වෙයි අද ඉසින්නට
අහිමිව ගිය අයෙක් නැවතත් ගෙනෙන්නට
මිහිපිට කිසි කෙනෙක් නැත අද දකින්නට