ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

සීතලේ උණුසුම්ම දවස

සීතලේ උණුසුම්ම දවස

අජිත් ධර්මකීර්ති - ලන්ඩනය
2022-February

නවම් මස හිම වලින් පිරිල
යුරෝපයේ තවමත්
ලන්ඩනයට දැන් හිම
වැටෙන්නම නැහැ
ගෝලීය ප්‍රශ්නයක් ලු

ඒ දවස් වල ඔබත් එක්ක
හිම පිරුණු වීදියේ
අතිනත අල්ලා ගෙන
චෙක් කෙල්ලගේ කඩෙන්
කෝපි කෝප්පයක් බිලා
දිග ප්‍රංශ පාන් ගෙඩියක්
අරන් චීස් කෑලි මැදට
දාල කන ගමන්
රූපවාහිනියේ යන එම්ටීවී
සින්දු අහගෙන හිටිය මතකයි
ඔයා ඊට පස්සේ නාට්‍යයක්
බලනවමයි

ඊට පස්සේ හිමින්
පොතකුත් අරගෙන
සීතලත් එක්ක ගුලි ගැහෙන
විට සයනයේ
මමත් හෙමිහිට එතැනම
ඇලවෙනවා
ඔයා කියනව පොත ගැන

තවත් පෙබරවාරි දාහතරක්
ඒවගේ උණුසුම් දවසක්
ඇයි මේ සීත කාලේ
ඔයා ඇහුව මතකයි
මට තුරුළු වෙමින්

මම දැනගෙන හිටියෙ නැහැ
ඒකට උත්තරේ
අපි දෙන්නම වයසට ගියේ එකට
ඒත් ඔයාට යන්න වුනා
මට කලින්

ළමයි වට කරගෙන
මුණුපුරු මිණිපිරියෝ
වට කරගෙන
ඔයා හිටියේ සතුටින්

මම අම්මයි තාත්තයි
හමුවෙනවා
ඔයා බය වෙන්න එපා
ඔයා හිනා වේගනම
ඒ ගමන ගියා

මට දැන් උත්තරේ
තියනව
ඔයා අහපු ප්‍රශ්නෙට
සීතල දැනෙනකොට
උණුසුම්ම දවසක් වුනේ
දාහතර