ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

සීතලයි තමයි මේ අඳුරු වූ රාත්‍රිය

සීතලයි තමයි මේ අඳුරු වූ රාත්‍රිය

කපිල කුමාර කාලිංග
2022-May

කලකට පසුව
නුඹ ඇවිත් “ඇඳිරිය”
අතින් ගෙන
නිහැඩියාව ද රකුසු වෙස්

සටන් පාඨ ඇඳි
පුවරු අත් හළ
දිවා කල වෙහෙසකර
ඉසිඹුලයි රැය තුළ බියකරු වුව

ඈතින් දිස්වෙයි
නිවි නිවී ඇවිළෙන
ගිනි ගොඩක රත
අසල්වැසි නිවසකින් නැගෙයි
හැඬුමක්, කුසගිනි වූ දරුවෙකුගේ

නිල් පැහැති නිල රියකි
වීදියේ අඳුරු මුල්ලක
නිදිකිරන ගිනි අවියක
රැඳුණු රෑ සමනලයෙකි

හිරු උදා වුණ ද හෙට දින
ඇඳිරිය රැඳේ සිත් තුළ
අයැදුමකි පුරවරයේ හැමතැන
රැකවලුන් පවා තැතිගන්වන

එකවරම නැගුණු ඒ ළතෝනිය
ගිලන් රියකැයි සිත සනසමි
සීතලයි තමයි මේ අඳුරු වූ රාත්‍රිය
නමුදු එය යමහලකි
හරි අඩක් වැසී ගිය හිමෙන්