ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

සරා සඳ පායලා අහසේ

සරා සඳ පායලා අහසේ

සමන්මලී සේනානායක - එක්සත් රාජධානිය
2021-May

සරා සඳ පායලා අහසේ වෙසක් සිරියයි සමිඳුනේ
ඉද්ද වතු සුදු ඇහැරිලා දැන් හරිම සුවඳයි ගෙමිදුලේ
සාදු නාදය පැතිරිලා යයි ගම වටේටම පන්සලේ
බුදුන් වැඩියා වගේ පේනව අපෙ ගමේ බුදු මන්දිරේ

බෝ මලුව හරි සිසිලසයි අද බෝ පතින් එන මඳ නලේ
වැලි මලුවේ මල් පිපී වාගෙයි පහන් සිලු දිලෙනා රඟේ
ගතින් තැන්පත් පිරිස් එකතුව කරයි පින්කම් පන්සලේ
ඇසෙනවා බන මඩුවේ බන පද රෑ පුරාවම පෝ දිනේ

සැදැහැවතුනුත් වඳින පුදනා නැතේ අඩුවක් පන්සලේ
සැවොම පතනා එකම පැතුමක් දුරලු කාටත් මේ බවේ
වැරදිලා කොතැනදෝ ඇත්තේ දෙසනවද අප සමිඳුනේ
සිතේ පැවතුම හඳුන ගන්නට බැරුවදෝ මේ ගනඳුරේ