ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

සමුනොගත් පියාණන්ට

සමුනොගත් පියාණන්ට

ආචාර්ය මංජුලා දිල්කුෂි සිල්වා - High Wycombe - UK
2021-August

කොහේ සිට එන්නේද කොහේ අපි යන්නේද
නොදැන දුර මගක් අප පැමිණියා
සතර මං හංදියේ ගිමන් හරිනා විටදි
අප අතැර වෙන මගක ඔබ ගියා

දුෂ්කරයි පැමිණි මග නමුත් එය බොහො කෙටියි
යායුතුයි දිගු මගක් අප කියා
වදන් තෙපලුවේ නැත දසුන් සිහියේ තබා
බැඳුනු අත්වැල අතැර ඔබ ගියා

බැඳී පුරුක් සවි නැතිව එකින් එක ගිලිහෙද්දී
දෙකොපුලම සිසිල් වේගෙන ගියා
නෙත් වැසුනු පටලයන් මා සඟව ගනිද්දී
නෙතු අගම ඔබව බොඳවී ගියා

නිවී ගොස් පහන්සිල එය නොදැනුනා නොවේ
සොඳුරු මතකයන් මා ලඟ තියා
හදේ ගැඹුරුම තැනක ඔබ ලැගුම් ගෙන හිඳී
දැනෙන්නේ සිහිනයක්මයි කියා

මලානික හිරු බසී ඔබ නොඑන බව දනී
සිටිමි මංසන්දියේ නෙතු අයා
වාරු නැතිමුත් දෙපා සවිය ගෙන යායුතුයි
මා හැරෙන මග එදිරියෙනි සොයා