සමුගත් කිවිපති ලයනල් ගුණසිරි
හසරැල් පිරුණු මුවගෙහි රස වැයේ ය
කවිමල් සුවඳ නල රැළි හැර නොයේ ය
තුරුවැල් පවා පිනි කඳුලැළි දියේ ය
ලයනල් ගුණසිරිත් සමුගෙන ගියේ ය
—-
පියඹා යොවුන් සමනලයකු සේ පෙරට
කරබා නොසිට විත් කවි මුළුවල මුලට
අරඹා ගඟක් ගැලු ලෙද කවි කිවූ පෙලට
ප්‍රතිබා පිරුණු කවියෙකි නැති වුනෙ රටට
—-
පෙනුමෙන් කුඩා මිනිසෙකි තරමක් කෙසඟ
හැගුමෙන් සොඳුරු හදවත මැදුරකි සුරඟ
දැකුමෙන් ගති වෙතත් විහිදීයන අනඟ
පණමෙන් සුගුණ රැකි මිනිසෙකි සිටි අගන
—
රජමැති ඇමති ජනපති කා ළඟ වුවද
මිහිරැති කවි කිවූ කවියෙකි සිටි සුහද
ධනපති කමෙන් අඩුමුත් නොවැටුණු නිබඳ
කිවිපති නමට අබිමානෙකි ඔබ හෙටද
—-
නෙක කවි සමුළු වල කුකවියො ඇති කලෙක
සික පද ලෙසින් කවි ගුණ සැලකුව වරෙක
අක ලට බැසැ ගියත් පසු සෑත්තෑ වසෙක
එක මඟකය ගියේ අපි කවි පරපුරක
—
සිවු පදයක් පවා කීමට බැරි සැනින
මවු බිම සමහරුන් කවි පුටුවල සිටින
හවු හරනයක් නැතිවම පහළට වැටුන
ගවු රව ලැබියුතු කවියෙකි ඔබ වටින
—
සසරින් උරුම වුණු හැකියාවෙන් එකසේ
අඳුරින් දිලුණු ඉරබටු තරුවකි අහසේ
කතරින් නොලැබුණත් දිවිතුරු දිය පහසේ
අතරින් පතර ඇත දුක් කවි කිවූ රහසේ
—
මුතුවැල් ලෙස හෙටත් කවිමල් පිබිදේවා
පැතූ සැම නොලැබුණිද ඉරණම විසදේවා
සතු සැම දෙයම අත් හැරදා සැතපේවා
මතු මෙත් බුදුන් දා නිවනට පැමිණේවා