ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

සංගායනා

සංගායනා

පියුමි ජයකලණි වික්‍රම ආරච්චි - ලන්ඩනය
2022-November

එළිය දීමත් අඳුර පෑමත්
අහස සතු වූ කාරණා
වළාකුළු වැලිකැට සිඹීමයි
මහා වැස්සක වේදනා

සුවඳ වීමත් පරව යෑමත්
මලෙක මල් කෙමි පාරනා
නටු අගින් ගිලිහී වැටීමයි
වියෝවක බණ දේසනා

රළ නැගීමත් යළි බිඳීමත්
සයුරෙ හොරණෑ වාදනා
දසත පෙණ පිඬු විසරවීමයි
වෙරළ කරනා ගායනා

නුඹ දැකීමත් නොදැක හිඳුමත්
නෙතට දමනා වාරණා
නිහඬ තත්පර දරාගැනුමයි
මගේ සක්මන් භාවනා