ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

වෙසක් සඳ

වෙසක් සඳ

නාලිනී කොඩිකාර (විශ්‍රාමික ආචාරිනී)
2021-June

කොතෙක් මඟ දිග යොදුන්
මහ වන වදුළු අතරින්
අතර වග වලසුන්
යමක් සොයනා අටියෙන්
අයෙකු යනවා අදිටනින් – දුටිමි සඳ රැස් අතරින්

රැයද මහ දහවල ද
වන වදුල ගිරි ශිඛර
ගං නිම්න සුදු වැල්ලෙ
වැතිර හිඳිනවා දුටිමි
එකලාව

යමක් සොයනා අයුරින්
පියාගත් දෙනෙතින්
මුදු දෙනෙත් හරිමින්
වරෙක ඇද වැටෙමින්
කුමක් සොයනු ද මෙලෙසින්

කොතෙක් දුටුව ද තවුසන්
භද්‍ර යෞවනයේ සිටින
මෙවැන්නකු නොදුටුවෙමි මම්

කළුවර ගල් ගුහාවක
වැතිර සිටිනා විටදි
හෙලූයෙමි සඳ කිරණ
පතිත වන්නට සිරුර

සඳ කැන් පරදවා
සද රැසින් ඔප උනා
ඔබේ ඡවි වර්ණය – රන් කඳක් සේ දිලුණා

ඔබ කවර තවුසෙක් ද
ඇදහිය නොහැකි විය මා හට

මහ වනස්පති මුල
මහ රෑ මැදියමේ
කුස තණ පත් අසුන මත
ඔබ හිදිනවා දිටිමි – පියා ගත් දෙනෙතින්

මහා පරාක්‍රමයෙන් – ඔබ නොසෙල්වී
අසුන් ගත් කළ
සිදු වූ ඒ අසිරිය
ඇදහිය නොහැක මා හට

මහ පොළොව ගුගුරා – හෙන හඬ ද වගුරා
බුදු රැස් ද උතුරා ශාන්තිය පතුරා
බුදු රජකු – තුන් ලොවට වැඩියා

මාරයා කිපුනා
අවි ආයුධත් රැගෙනා
පිරිවර සමගිනා
නිසල බුදු හිමි දෙසට ඇදුණා

දුණු ඊතල වරුසා වට – හිමි පා මුල මල් පෙති විය
මරු විසි කළ ආයුධ සැම – කැරකෙන වා සුළියක් විය
ගිනි පන්දම් විසි කළ විට – රන්වන් වරුසාවක් විය
මහ කළු ගල් කැට විසිරී – මිණි කැට සේ සැම හැඩ විය

කිසි දිනෙක කිසිවකුත්
නොදුටු ඒ අසිරිය
වලාකුළු මෑත් කොට
විශ්මිතව දැක ගන්ට
භාග්‍ය ලත්
ඒ වෙසක් සඳ මමයි
ඒ අසිරිමත් රැයෙහි

සදෙව් ලොව එළියෙන් මගේ සඳ රැස මැකුණා
මුළු වනේ රැය පුරා දහවල ද හැඟුණා
දුටු විගස බුදු රුවක් මහ බඹුට හැඬුණා
මහ වනේ මහ රැයේ සත් පියුම් පිපුණා

සතර වරම් දෙවි රජුන්
මහ තෙදැති දෙවිවරුන්
මහ බලැති මහ බඹුන්
අලුත උපන් බුදුන් හට
පෙරළි පෙරළී වැඳි අයුරු
දුටුවේ මමයි පළමුව
ඒ වෙසක් සඳ මමයි.