ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

විනාසය අවැසි තැන

විනාසය අවැසි තැන

දයානන්ද කන්නන්ගර - ලන්ඩනය
2022-February

ඈත දුෂ්කර හිමේ
නගරයේ සහ ගමේ
දස දහස් මව්වරුන්
කිරට හරවමින් ලේ
විසිවසක් රැක වඩා
ජාතියට භාරදුන්
වීර සිහ ලක්පුතුන්
එකා පිට වැටි වැටී
මුදාදුන් ලක්දෙරණ
සිතුලෙසින් නිදහස්ද?

උතුරු කොන ඉපදිලා
උතුරුකොන මිය ඇදුනු
සොහොයුරන්¡ සොයුරියන්
පැතු ඒ සිහින ලොව
ඔවුනටත් නිදහස්ද?

අවසන්ව ලේ හැලුම්
අරුණළුව නැගීලා
සිනාකැන් පිපුණු රට
ඩෑහැගත්තු චෞරයන්
සිත්තොසින් සොම්නසින්
සාරයම උරා බී
දෙතොල් අග පිසලමින්
සොයයි දඩයම් තවත්

දුපතේ වටිනාම
කොටස් කොටසින් කොටස
කොටස්කර කඩින් කඩ
නොරටුන්ට විකුණමින්
වනසාය දිවයිනම
උකටලී ජන තොමෝ
දොම්නසින් ගල් ගැසී
ත්‍රාසයෙන් මුසපත්ව
බලාසිටිනා සෙයකි.

අතට හසුවෙන යමක්
රැගෙනවිත් මහමගට
එක්ව සැම එක හඩින්
කලයුතුය විනාසය
විනාසය අවැසි තැන
කලයුතුය විනාසය
ඉනික්බිති පහවගොස්
දුක්අදුරු වලාපට
පායාවි නව ඉරක්…