ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

වැරදි පැණයකි

වැරදි පැණයකි

නීතිඥ මෛත්‍රි පනාගොඩ - සිඩ්නි - ඔස්ට්‍රේලියාව
2021-May

ඔහු අසයි :

“හරිහම්බ කරල ඇති සෑහෙන්න
ඔය තරම් කාලයක් පිටරටක!

නිරුත්තර වෙමි.

අසනු මැන මගෙන් :

පාර තොට වැරදිලා
ජීවිතෙන් පැරදිලා
නීතියෙන් විසඳුමක් සොයා ආ
මිනිසෙකුට
පිළිසරණ වූ අයුරු

අසනු මැන මගෙන් :

ළඳ බොළඳ ළමා වියෙ
මිනිස් ගොදුරක් වෙලා
නීතියෙන් විසඳුමක් සොයා ආ
ගැහැණියට
පිළිසරණ වූ අයුරු

දින ගණන් සති ගණන්
නොනැවතී කතා කළ හැකිය මට
කැප කෙරූ හැටි දිවිය
සහනයක් ලැබ දෙන්න
නීතියේ පිළිසරණ පතා ආ
දුප්පතුන්ට
අසරණයින්ට
ගණිකාවන්ට
බේබද්දන්ට
සිඟන්නන්ට
සිරකරුවන්ට
සරණාගතයින්ට
ආදිවාසීන්ට

අමිල වූ අනගි වූ
ඔවුන්ගේ තුති වදන්
පමණි එක්රැස් කළේ
පුරා සතලිස් වසක්