ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

වාට්ටුවෙ හිටි ලෙඩෙක්ගේ මළගමට ගියෙමි.

වාට්ටුවෙ හිටි ලෙඩෙක්ගේ මළගමට ගියෙමි.

වෛද්‍ය සමන්ත කේ. සෙනවිරත්න
2022-December

දොරකඩට ආ මට
නොවැන්දට කාරි නැත
මේ ලෙඩා මැරුණේ
මගේ වරදින්
ලෙඩා ඇවිදන්
වාට්ටුවටම එනකොට
කොළයක කුරුටු ගා
ගත්තේද මංමයි

එක්ස් රේ කොළ නැතත්
ලැබ් එකේ රිපෝට් නැතුවත්
මම ලෙඩේ දැනන් උන්නා
නලාවේ අත්දැකීමෙන්

ඒත්……
සමා වෙයන් මට
ඕනෙම බෙහෙත නොදී
තිබ්බ බෙහෙත දුන්නට
කාලයේ හැටියට

ලේ පයින්ට් හතරක්
දෙන්නට ඕනෙ වෙනකොට
එකක් දීලයි බලන් හිටියේ
මදිය ඒ මදිය
නොදැනගෙන නෙවේ
ලේ ටිකක් දන් දෙන්න
මිනිස්සුත් ඉන්දෙද්දි

අ සී යූ එකකට
දාන්නට ඕනෙ වෙනකොට
ඇමතුමක දුරකින්
තිබුණේ නෑ එක
ඇඳවක්වත්
සමාවක් දෙන්න පුළුවන්ද
පණ යනකන්ම
හොයා ගන්නට බැරුවට

මැරෙන්නට වයසක්ද
හොයාගෙන නැති ලෙඩක්මද
නැත නැත…. දන්නවා මං..
මේ මරණය
බිහිසුණු වරදක්මය

කරුමයක් කියා
හිත හදා ගන් නැතුව
දඬුවමක් පමුණුවන්න මට
තව තවත්
මෙවන් මරණයන්
නොම වන්න