ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

වස්සානෙ තව තවත් දුරද…

වස්සානෙ තව තවත් දුරද…

සීතා සිසිකාන්ති පෙරේරා - ශ්‍රී ජයවර්ධනපුර
2022-November

පාට පාටින් සුපිපි මල් පොඩි
උදා සුළගේ වැනෙනවා
හිරුගෙ දිලෙනා රැස් කඳම්බෙට
දිලිහි දිලිහී රඟනවා
දස අතේ රැඳි කුරවි කූජන
හඬ ද දෙසවනෙ රැඳෙනවා
වැසි පොදක් ඉඳ හිටල වැටුනම
ටිකක් මන දොළ පිරෙනවා…….

විල් තෙරේ හැම තැනම පිපි මල්
වියළිලා බිම වැටෙනවා
පෙති විදා පිබිදිලා රුව රැකි
නෙළුම හැම අත නැමෙනවා
තටු සලා ඉගිලෙනා සමණලු
වටේ එබිකම් කරනවා
මඩ පිරී ජල රැදුණු තැන් වල
කොරලි කාවයි රඟනවා………

පිපාසෙට ජල බිදක් සොයමින්
සතා සිවුපා ඇදෙනවා
තණ නිල්ල මියැදිලා හැම අත
සෝක සංකා දැනෙනවා
විහඟ කැල සා පිපාසා වෙන්
ජල බිඳක සුව සොයනවා.
වස්සානෙ තව තවත් දුරදෝ
කියා මැසිවිළි ඇසෙනවා………