ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

වන පෙත සිරියාව…

වන පෙත සිරියාව…

හේමා ඩෙප් - ලන්ඩනය
2022-May

කිචි බිචි කුරුලු හඬ දස අත පැතිරෙනවා
තුඩින් තුඩ තියා මොනවදො මුමුණනවා
සිත කය දෙකම සැනසී සිසිලස දෙනවා
වන පෙත තුළට වී මා සිරි නරඹනවා

හාවුන් මුවන් තරඟෙට මෙන් දුව යනවා
ඒ සැම දෙනම මා සතුටින් පිනවනවා
මොණරුන් පිල් විදා හැඬ රඟ මට දෙනවා
වනයේ ඉන්න ඇත්නම් සිත වද දෙනවා

ඉන්නා ඇතුන් ටික එළියට එනවා
තාලෙට අඩි තබා උන් පාඩුවෙ යනවා
පැටවුන් සෙල්ලමෙන් පසු පස දිවයනවා
අම්මගෙ බඩ යටට රිංගා නවතිනවා

පැත්තක ගල් තලාවක ලස්සන ඇත්තේ
වැව ළඟ කුරුලු පෙම් බස් දොඩමින් ඇත්තේ
සුදු තිත් තබා ගෙන මුව රැළ ගල මත්තේ
වතුරට බහින්නට සූදානම ඇත්තේ

සුන්දර සුරපුරය වන පෙත ගෙන දෙන්නේ
රන්වන් ගිරව් රෑනක් පියඹා යන්නේ
සංගීතයක වගෙ හඬයක් පැතිරෙන්නේ
සරස්වතී දේවිය සිහියට එන්නේ

වනයේ සිරිය මගෙ සිත සනසන්න ඇති
ආපසු යන්න මට අමතක වෙන්න ඇති
හිරු බැස යද්දි හදවත ගැස්සෙන්න ඇති
මගෙ නෙත් දෙකට පොඩි කඳුළක් එන්න ඇති