ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

ලන්ඩන් උමං දුම්රිය

ලන්ඩන් උමං දුම්රිය

විල්සන් හෑගොඩ
2021-April

මහ ගොඩනැඟිලිවල මාවත් හතර වටින්
පවතී නගර කොලහලයක දෙරණ පිටින්
ගිලිහුණු කුරුල්ලකු දිවයන පරිදි මිටින්
දුවයයි උමං දුම්රිය මහ පොලව යටින්

පැමිණෙන කවර මොහොතක හෝ පොළොව ගැබේ
හැම තුන් විනාඩියකම දුම්රියක් තිබේ
පතුරොම වගේ යන රයිෆල් කඳක ඉබේ
දුම්රිය අඳුරු බිම් කුහරෙහි දුවනු ලැබේ

ඔන්චිලි පහන් හෝ නිල් කොඩි වැනිලි නැත
නොපිඹෙයි නලා දැළි නොබැඳෙයි ඇඳුම මත
දොරවල් තිබෙන තැන යන රිය මැදිරි වෙත
දිගටම වේදිකාවේ කළ ලකුණු ඇත

මගියෝ නියම තැන වෙති ඇති ලකුණු කර
දුම්රිය අවුත් නවතී හැර විදුලි දොර
ඉක්බිති වැහෙයි දොර මඟියන් නැඟුණු වර
නොදුටිමි උමං දුම්රිය වෙත නඟින පොර

ගැහැණිය බිම තබා මිනිහා රියට නැඟ
පොරකාගෙන ගොසින් නොහිඳී කවුළු ළඟ
වැරදීමකින් වැදුණොත් යම් කෙනෙකු ඇඟ
පවසයි “සමාවන්නැයි ” පා සිනහ ගඟ

මගියෙක් තවත් මගියෙකුගේ ඇඳුම ගැන
නොසොයයි එමෙන් නොඅසයි ඔහු යනෙන තැන
මඟිනට වමෙන් යන්නැයි බැස පිටට යන
කීවොත් නොයනු ඇත දකුණින් ඉවත පැන

කළු සුදු වෙනස හෝ පෙම්බර පැටලිල්ල
නොතකති උමං දුම්යාණෙහි යන ගොල්ල
මල් ඉහිරෙන වියේ සිටි රූබර කෙල්ල
නොලබන්නීය මැහැලිය ලද සැලකිල්ල

වයසක දුබල කත රිය වෙත නඟින විට
අත දෙන ඇගේ මුළු බර ගෙන අසල සිට
සමහර කෙනෙක් තරුණියකගෙ සිනහ කට
නොතකති ඒ තරම් ලොකුවට අගය කොට

සැතපුම් පනහ හැට වැනි කඩිසර සිලී
ගමනැති උමං දුම්රිය යන මත පිළී
ඇස සනසවයි පිරිසිදු ගතියෙන් හේලී
ඇඳුමෙහි නොගෑවෙයි බිඳකුදු දැලි දුලී

කැමරා ඇසට නිසි පියකරු දසුන සොයා
ලඟදී උමං දුම්රිය හත අටක ගියා
ලක්දිව අපේ දුම්රිය වල ලියන නියා
නොතිබුණි මැදිරි වහලේ කුණු හරුප ලියා

1963 වසරේ දී