ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

ලද මැන සදා සුව

ලද මැන සදා සුව

රාජකීය පණ්ඩිත පනාමුරේ තපස්සී හිමි - ලන්ඩනය
2023-March

සැමදින සවස සඳ පායන වෙලාවේ
සිත ගත සතපවාලන රැය උදාවේ
දවසෙම ලද වෙහෙස එතකින් නිමාවේ
රෑ කුමරියයි සැමදා සුව ගෙනාවේ

හිරු කුමරිය පැමිණ සතුටින් සිනාවී
දවසේ වැඩට නැවතත් අත වනාවී
පිබිදුණු සිතින් වඩ අරඹනු ලබාවී
දහවල වන විටදි නලියයි එපාවී

සඳ කුමරියට නැවතත් අඬ ගසාවී
රෑ කුමරිය සමඟ එන ලෙස කියාවී
හිරුගෙන් ලැබුණු පීඩා කණ තියාවී
දාහය නිවා සනසන ලෙස කියාවී

මේ ලෙස සැවොම නැළවෙන තුරු මරු තුරුලේ
දිව රෑ දෙකෙහි දුක සැප දෙක මත පෙරලේ
සැප පමණක්ම විඳිනා අය නම් විරලේ
මේකයි සැබෑ බව ලොව කිවහොත් සරලේ

පවතින තුරා මේ ලොව දුක් කඳුලැල්ලේ
දැවටී ගෙවනු ඇත සැමදෙන විඳවිල්ලේ
නවතා මෙදුක් ඉන්නට නම් සැනසිල්ලේ
පින හා කුසල් කළ යුතු වෙයි එක එල්ලේ

අඩු වැඩි ලෙසින් හැම දිනකම විඳින දුක
නුවණින් බලනු මැන වැටහෙයි නොමැත සැක
ඉන්පසු වෙර වඩා සිත ගත දෙකම රැක
දුක පිරි සසර නවතනු මැන නිවන දැක

රාජකීය පණ්ඩිත පනාමුරේ තපස්සී හිමි
ලන්ඩන්
2023 . 02 .10