ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

රිදියාගම සේවයට සුදුස්සෙක්………!!

රිදියාගම සේවයට සුදුස්සෙක්………!!

පරාක්‍රම නිරිඇල්ල
2021-May

අනේ නෝනාවරුනි! මහත්වරුනි! මේ බලන්න
ටිකක් මට කන් දෙන්න
රුපියල් පනහෙ පඩියට වැඩ කරපු
කොම්පැණි කාලෙ බස් ඩ්‍රයිවර් කෙනෙක් මම.
මේ තියෙන්නෙ මගෙ ලයිසන් එක
පෙර කර්ම දෝසෙකින්
අනේ නැති උනා ඒ රස්සාව මට.

නෝනාවරුනි! මහත්වරුනි!
රුපියල් දෙසීයක් මාසෙකට
ආණඩුවෙ පිං පඩි ලබනවා දැන් මම.
මේ තියෙන්නෙ මගෙ පිං පඩි කාඩ් එක.

මහ යුද්ද වකවානුවෙ
සිංගප්පූරුවෙ-බුරුමයෙ-මලයාවෙ
යුද හමුදාවෙත් සේවය කළා මම
සොල්දාදුවෙක් හැටියට.
මේ තියෙන්නෙ ජොහොරේ නගරෙදි
යුනිෆෝම් ඇඳලා ගත්ත
මගෙ ලස්සන ෆොටෝ එක.
ඒ කාලෙ අවුරුදු විසි හතරක ලස්සන ඉලංදාරියෙක් මම.
අද අඬු කැඩුණු මැස්සෙක්
කුණු ගොඩවල් ඇහිඳ කකා
මහ පාරේ ගාටනවා.
අවලංගු කාසියක් වගේ මම  – වලංගු කාසි හිඟාගෙන
ටිං කබලක් පිටිපස්සෙ – දුක් අඳෝනා කියාගෙන
මහ පාරේ ගාටනවා අද.

ඔන්න ඔහොමයි මහතුනේ – මිනිහෙකුගෙ ජීවිතේ
මීටත් වැඩිය එපා මිනිහෙක් ජරා ජීර්ණ වෙන්න
මීටත් වැඩිය එපා මිනිහෙක් ජරා ජීර්ණ වෙන්න ඉඩ දෙන්න
එපා මාව නිකරුනේ වළලන්න ඉඩ දෙන්න.
ඉඳා මෙන්න රුපියලක් !
ඉඳා මෙන්න රුපියල් දෙකක් !
ඉඳා මෙන්න ගනිං – අරගෙන කාපන් පාන් කෑල්ලක් !!
කියා දෙන්න හිතලා බලලා
ඔබේ හිතට එකඟ නම්
මෙන්න මගෙ ටිං කබල.