ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

රහස

රහස

චාන්දනී ආර් වේරගල - මීගොඩ
2023-May

එකම මග අප ගමන් කළ බස් රියෙන්
අතර මග නුඹ ලලිත ගමනින් බැස ගිය පසු
එතෙක් මා නුඹට නොකියූ කතා
සිතින් කොඳුරමින් ඉතිරි දුර ගියෙමි

පෙනුමෙන් ද වයසින් ද සම වන
එකම පාසලක උගනින
දුර නොවූ ගම් දෙකක නිවසන
නුඹ නොවෙද කුමරි මට ගැලපෙන

නිමා කර ශිල්ප මේ ශාලිකාවෙන
ලබා සරසවි වරම් ගුරුවර දයාවෙන
සුබ අනාවකට මං පෙහෙලි සදාගෙන
සිතම් නව ලොවක් ගැන නුඹට තනා දෙන

ඉර සඳින් එළි උනා නිල් අහස
පෙම් පහන් දැල්වුණා නුඹ පිණිස
නිශාවෙහි නෙළුම් නොපිපෙන විලස
තිඹිරි ගෙයි මියගියා ඒ රහස

නිල තල ද යාන වාහන ඇති නගරයක
සිරවුණා මිල මුදල් සොයන තරගයක
ගම පැමිණි දා සොයා ආදරයක මතක
පිපී තිබුණා නුඹ ඈත නිල් නිම්නයක