ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

රමණීය වේ…

රමණීය වේ…

ඊ.ඩබ්.හිරුණි භාග්‍යා - විශාකා විද්‍යාලය
2022-March

පුරුද්දට වගෙ දෙවැට සරසන කහ මලින් හෙබි නේක වැල්
දුරුත්තට පසු හෙමින් ඇහැරෙන වසන්තේ කෝමල කොවුල්
දෙපැත්තට වී දෑත් පානා තැන්නෙ මල් හා ගෙවතු මල්
නිමිත්තට එළැඹී හමා යයි වසන්තේ මුදු සුළං රැල්

මධුර මත් ගී විහග ගණ දෙන රන් දියක් සේ යයි ගලා
අදුර විත් උන් රැගෙන යන තෙක් නිමක් නෑ ගී මල් සලා
උදුර ගත් සේ සවන් ඇත මෙහි නිහැඬියාවෙන් ගිලීලා
පැතිර යත් මේ විහග නද හැර කවුරු ගයනෙද ගී නොලා

හරිත සායම් නේක ගුණයෙන් ඇතිරිලා තුරු පත් මතින්
ඉවත බලමින් මුකුළු කරනා සුපුෂ්පිත කුසුමන් රැසින්
පවත නොමදැන වසන්තේ ගැන කවුරුවත් මෙහි නොආවෙන්
මසිත ඔකඳ ව වැළඳ ගත්තෙමි සොබා කොමළිය සෙනෙහසින්

තැන්න අද්දර තැනූ සුපහන් නිවසෙ කවුළුව හරිනෙමී
එන්න සැරසෙන නැවුම් සුළඟට ඉඩ දෙමින් එය සිඹිනෙමී
පින්න සළු හැද නටන තණ පත් මතින් හෙමිහිට ඇවිදිමී
දුන්න හිරු රැස් දෝත පුරවා රැගෙන මුව නිති සෝදමී

හෙමින් සැලෙනා වන වදුලු වල අහිංසක තුරු පත් හඬින්
විටින් විට සිත තුටින් බර වී ඵලින් සරු තුරු මිතුරු මෙන්
ගතින් හා මුළු හදින් වැතිරී වසන්තේ මිහි මව් මතින්
සුවෙන් නිම් නැති වසන්තේ අම පවන් බොන්නෙමි මුව අගින්

සදා තනිකඩ නොපිරිහුණු නව යොවුන් තුරුණිය තැනිතලා
මුදා මා මුළු ලොවින් ගෙනවිත් නුඹේ මිහිරේ පා කළා
මෙදා සුන්දර වසන්තය දුන් සිරියෙ නැහැවී මත් වෙලා
උදා වූ මේ වසන්තේ රමණීය යැයි කියනෙමි නොලා