ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

රතු නෙළුම

රතු නෙළුම

ප්‍රීති පෙරේරා - තලවතුගොඩ
2022-February

සැළලිහිණියෙක් රඟන
නැවුනු කරලක් පැසෙන
වෙල් එළියෙ අසිරියෙන
මන් මත් වුනිද උදෑසන

දිය ඇල්ලක නැලවෙන
නුගයක අතු විහිදෙන
වන වදුලෙ අරුමයෙන
අතරමං වුනිද ගොම්මන

බොරදියෙන් මතුව එන
⁣රතු නෙළුම හිරු දකින
දිනුවාද තරු සිහින
රැජින අසිපත අමෝරන

සොම්නසින් හද ගැහෙන
මොහොත අහසින් සරන
මතකයන් සොඳුරු වුන
වියැකී යාද අසුරු සැන

2022 ජනවාරි