ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

මේ මා පොළොව ලක් මෑණිගේ මසුරන් ය…

මේ මා පොළොව ලක් මෑණිගේ මසුරන් ය…

චන්දි ජයසිරි
2023-April

මගෙ රට තරම් ලොව සුන්දර රටක් නැතී
මොනවා අඩුද දිය ගොඩ බිම ගොඩබිම අපට ඇතී
තේ දළු හිනාවෙන කඳුරට සොඳුරු ගතී
දුටුවිට මගෙ හද මඩළ ම වුණා කිතී

පැහැයෙන් හරිත පිනවා මා නෙතු සඟළ
ඇල දොල දිගේ මින් දද යන හැටි දඟල
හිනැහෙන නෙලුම් මානෙල් වැද හිරු මඩල
දුටුවෙමි රඟනයුරු මොනරුන් තුරු වදුල

යල මහ දෙක ට අස්වද්දනු කෙත් යාය
අවුවැසි ලැබුණි මෝරන කළ සඳ පෑය
බැතිබර සිතින් වැඳ රන්වැලි මහ සෑය
එන විට දුටුවෙ තව තව මනරම් දෑය

මිණිකැට රුවන්පුර මිනිරන් බෝගල ය
මේ මහපොළව ලක් මවගේ මසුරන්ය
දාගැබ් තනා වැව් බැඳි අය විරුවන්ය
මගෙ රට නසන කොයි කවුරුත් පරයන්ය

දුටුවට වඩා නොදුටුව දේවල් බෝම
ඇති බව කියමි ඒ ගැන ලියමි ද කෝම
අද මෙන් හෙටත් ඉපදුන දේශෙට පේම
කරනෙමි. මගේ පැතුමත් මෙහි මියයාම……