ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

මේ මහ විපත දැක දැක නිහඬව ඉන්නේ

මේ මහ විපත දැක දැක නිහඬව ඉන්නේ

නිශාන්ත ප්‍රීති සෙනරත් - ලන්ඩනය
2021-April

කොඳු ඇට පෙළට හෙන ගහලද මිනිසුන්නේ’
(එස් .මහින්ද හිමි මතක් උනා)

රක්ෂිත වනය දැන් තැන තැන එළිවෙන්නේ
වන සත්තුන්ට උන් හිටි තැන් නැතිවෙන්නේ
අලිමංකඩ වසා වැටවල් ඉදිවන්නේ
විදුලිය වැදී ඇත් රජෙකුත් මිය යන්නේ

ගංගා හාරමින් වැලි ගොඩ දමමින්නේ
පර්මිට් නැතිව පස් ලොරි ටික පිටවෙන්නේ
අතමිට සරුව මුදලාලිලා හිනැහෙන්නේ
රත්වෙන තුරු හැළිය කකුළුවො නටමින්නේ

“කපලා කඩොලාන පිට්ටනියක් දෙන්නේ
කන්නද ඔක්සිජන් කියලයි ඉල්ලන්නේ ”
ජල පෝෂක වසා හෝටල් ඉදිවන්නේ
ලාභය හොඳයි – නව රැකියා බිහිවන්නේ

අපි පිට කරන හුස්මයි ගස් අරගන්නේ
පිරිසුදු වාතයයි ගස් අප හට දෙන්නේ
ගස් වැල් නැතුව කොහොමද ලොව පවතින්නේ
මොළයක් නැත්ද ඇයි මෙය නොම තේරෙන්නේ

පරිසර පද්ධතිය අඩපණ වී යන්නේ
දියවැල් සිඳුන හොත් වතුරත් නැතිවෙන්නේ
මේ යන ගමන අපි කොතැනද නවතින්නේ
මතු පරපුරේ අවසානෙද ලං වෙන්නේ

මහ ගස් පවා ඩෝසරයට යටවෙන්නේ
ගහකොළ නැතුව කොහොමද හුස්මක් ගන්නේ
‘මේ මහ විපත දැක දැක නිහඬව ඉන්නේ
කොඳු ඇට පෙළට හෙන ගහලද මිනිසුන්නේ’

පැළයක් හිටවලා කැලයක් එළිකරන
චන්දය බලාගෙන මායිම් ගසාගෙන
ඉඩමක් විලස මහ වනයක් බෙදාදෙන
දෙස් පාලකයෝ අද ඇයි මේ හැටි අමන

21. 03. 2021