ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

මැද පන්තියේ අභිණික්මන

මැද පන්තියේ අභිණික්මන

චමික ගමගේ
2023-January

සොමි සඳ පිරෙන ඇසලයෙ මැදියමේ කොනේ
ගෙව්වා විලස දිවියක ලෙන්ගතුව සෙනේ
බිම්බා කිවු විලස අවසන අදද දිනේ
සිප හැර යන්න බැහැ හදවත හඬනු දැනේ

පිසදා යන්න හැකිනම් ඔය කඳුලු නෙතින්
දන්නව යලිත් ගැටෙනව මා මගෙම හිතින්
සොයමින් කිරි සුවඳ දැවටී මවුගෙ අතින්
රාහුල හඬයි දැක බිත්තියෙ පැලුම් තුලින්

අහවිද පුත් මගේ දැක නැති පියා තව
අසරණ වී යාවි බිම්බා ඔබයි මව
සිතමින් නැවතුනිමි ටික කාලෙකට තව
පස්සට තබා සසරක සැනසුමක සුව

හැරගිය විලස එදවස බන පොතක් ලෙසේ
ගියදා කෙලෙස ඔබ දරුවන් රකිනු කෙසේ
රසදිව තවන රජබෝජන නැතත් එසේ
කුසගිනි නොනැගෙන්න ඉඩ දිය හැකිද මෙසේ

අස්වාමික රුවට පන දෙන විලස ගරු
මුරකාවල් යෙදූ රජගෙට නො එති හොරු
තනිවම පුත් රකින ඔබ රූ දැක අයුරු
එන්නට බලයි දැල් කවුළුව මැදින් තරු

රජකම් කිරුලු හිමි නැති හිස් වැසෙනු තියා
හිල් වහලයක්වත් තිබ්බා රැකෙනු අයා
ඇත් අස් රිය නැතත් මතු දිවි ගෙවනු නියා
අටවත් සමත් වෙනකන් මා සිටිමි නොයා

සූසැට භරණ දැසිදස් මාලිගා තුනේ
රූසිරි නැතත් මා පවුලක් රකිනු දැනේ
මාසික වැටුප කෙලවර තපසකට වනේ
අභිනික්මුනොත් මා නිරයට යයිද අනේ

කැන්දා උදය බැසගිය ඇසලයේ රැයින්
ඉම්බා මා පුතුන් නලලත රුසිරු වතින්
බන්දාගෙන ඇයත් යලි දොරකඩට ඉතින්
ඉන්දා නික්මුණිමි කන්තෝරුවට පයින්…