ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

මළගම

මළගම

හෙල්මලී ගුණතිලක - ඔස්ට්‍රේලියාව
2022-November

ප්‍රියය
මා නික්ම ගිය දිනක
මල්මාලාවෙන් සරසන්න දොර පියස
මංගල්‍යයකට මෙන්

නිවෙස් වලින් පිටතට
කැඳවාගෙන විත් මිනිසුන්
නටන්න මාවත් දිගට

මනාලියක් සේ පේවී
මරණය පැමිණි විට
මගේ දීප්තිමත්ම ඇඳුම් අන්දවා
මා පිටත් කර යවන්න

අපේ අමුත්තන්ට
හිම කිරම සහ රෝස පෙති දී
සංග්‍රහ කරන්න

සොඳුර
හඬන්නට කාරණා නැත
ජීවිත කාලයක්ම බලා උන්නෙමි
මේතරම් සුන්දරත්වයක්
මගේ හුස්ම පැහැර ගන්නා තුරු

පැමිණියෙමි
ජීවත් වූයෙමි
ජීවිතය නම් මේ තරඟය
දිනා ගත්තෙමි
එනිසාම මා නික්ම ගිය දිනක
සැමරිය යුතුය
මා මරණය

Translation of the poem ‘Funeral’ by Rupi Kaur
Original poem from -https://www.poetic-endings.com
Photo by Vaibhav Nagare from Unsplash

Rupi Kaur ඉන්දියානු සම්භවයක් ඇති කැනේඩියානු කිවිඳියකි. කෙටි, බරැති කවි ලියන ඈ මෙතෙක් පළ කළ කවි පොත් හැම එකක්ම රසිකයන් අතර අතිශයින් ජනප්‍රිය වී තිබෙනවා. කවියට අමතරව රේඛා චිත්‍ර ඇඳීමටත් දක්ෂ Rupi ඇගේ පොත් ඇගේම චිත්‍ර වලින් හැඩ ගන්වා තිබීම විශේෂත්වයක්.