ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

මවක පැතුම

මවක පැතුම

වෛද්‍ය ශ්‍යාම කුමාර මුණසිංහ - කොල්චෙස්ටර් - එංගලන්තය
2022-December

තෙල් මල් පහන් ගෙන පන්සල් යන විලස
ඇල්මෙන් ආ පුතෙකු හා මුණුබුරු පිරිස
දල්වා පහන් සොහොනේ එළියක් විලස
මල් සැරසිලි කරණු දැක ගත්තෙමි සවස

දරුවන් දුසිම් බාගයකට වී සෙවන
දිරියෙන් උස් මහත් කර ගත්තෙමි පෙමින
වෙන් වෙන් වෙලා මුන් දැන් මේ යන ගමන
උන් උන්ටම මිසක මට නම් නෑ නිවන

කිකිළිය සිය පැටවු කැල රකිනා ලෙසට
මම ඔය දුවා දරුවන් බැලුවේ එකට
මව මිය ගිය දවස සිහි කරනා කලට
එක්විය නොහැකි අය මොකටද දරු කමට

දුන්නත් සියලු දේ එක පිළිවෙළට බෙදා
කවුරුත් සතුටු මූණක නෑ නේද මෙදා
උල්පත් වලින් ගැලුවත් මිල මුදල් සදා
ඇයි හිත් අසල සැනසීමක් නැත්තෙ රඳා

එකමුතු කමින් ඉන්නට බැරිනම් එකට
ඔය වතු සුද්ද මල් මාලා ඇයි අපට
කොළ අතු වලට යටවී නොපෙනෙන ලෙසට
මගෙ නෙතු පියාගෙන පස් වෙන්නම් බිමට