ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

මල්සරාටත් පුදුම හිතුනා

මල්සරාටත් පුදුම හිතුනා

නාලිකා සමන්කුමාරි - අරාබි එමීර් රාජ්‍යය
2022-November

සීලවන්තයි උපාසකවරු
යනෙන විට බෝ සෙවනෙ රැඳෙණා
පූජ වට්ටිය ලඟට එනතුරු
අවට විසිතුරු වලට එබුණා
ගාන කොහොමද කොහොම ඇහුවද
මල් සරාටත් පුදුම හිතුනා
දෑවරයි තුන් ඈවරයි නම්
එතැන වේන්දේසියක් කෙරුණා…

නාරි රූපෙට කාමගිනි මැද
සල්පිලේ බන්දේසි තිබුණා
සෙයිලමේ ලොකු මහත්තුරු අත
කාමරේ තනි යතුර රැඳුණා
හීන් දෑසක් රෑක වස්සන
කඳුළු වැස්සක එවුන් තෙමුණා
ඒත් එළි වෙන තුරා පමණයි
හිරුට බිය උන් එයින් මිදුණා …

මෝහිනීටත් තාත්තෙක් නැති
අහිංසක පොඩි එකෙක් ලැබුණා
කාගෙ වරදද කතා නොකරම
ඇගේ නමටම නඩුව වැටුණා
ආව ගිය අය මතක් කර කර
ජීවිතේ මල් සමය ගෙවුනා
වාව ගන්නට බැරිව පත්තිණි
මෑණියන් තිර පටින් වැසුණා ….

2022/10/07