ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

මමත් උත්සහ කළා

මමත් උත්සහ කළා

ප්‍රීති රන්දෙණිය
2022-February

රත්තරං සුදු අම්මෙ
ඇයි මාව බලන්න ට
ගිය සතියෙ නොම ආවෙ
හැමවෙලාවෙම මෙහේ
එන එකට ලොකු සාදු
එපාවත් කිවුවාද

ගිහි ගෙදර ඇති බැම්ම
නතර කර හිත හදා
ගන්න යැයි ලොකුසාදු
නිතරෝම කියනවා

මමත් උත්සහ කළා
අනේ මට බෑ අම්මෙ
අම්මගෙන් ලිහෙන්නට
හිතුවමත් දුක වැඩියි

මගේ ඇස් දෙක පොඩි යි
කඳුලු ගෙඩි හරි ලොකු යි
මගෙ පුංචි සිවුරු කොන
තෙමයි සාදු ට හොරෙන්

බුදුසාදු වඳිනකොට
මල් අසුනෙ මගෙ අම්මා
මිදුල අමදින විටත්
මහ පොලොවෙ රටා මැද

උපාසක කතුන් මැද
පැන් ගන්න ළිඳ ඇතුළෙ
බෝගහේ කොළ අතරෙ
පන්සලේ කොත මුදුනෙ
පහන් වැට ගිනි සිලේ
බන මඩුවේ හැම තැනම

කියන්න ට නම් එපා
ලොකු සාදුහට අම්මෙ
මා එක්ක තුරුල් වී
අම්මා නිදියන වගක්

මෙහේ මට ගෙදර නැති
හුගාක් දේ තියෙනවා
වළදන්න බැරි තරම්
දානෙ පිරි නමනවා
පාඩම් ම කරන්නට
පුස්තකාලය ක පොත්
සිවුරු නම් හත අටක්
දිග ඇරියෙවත් නැති

ඒත් මගෙ රත්තරං
සුදු අම්මෙ කියන්න කො
මේ කිසිම දෙයක ඇයි
නැත්තෙ සතුටක් කියා

ආදරෙත් සෙනහසත්
මහ හුඟක් දවටලා
ලුණු එක්ක අනපු එක
බඩ පිරෙන බත් කටක්
අම්මගේ රත්තරං
අතින් කවනා තරම් ..