ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

මනමේ කුමරියත් සමඟ youtube interview එකක්

මනමේ කුමරියත් සමඟ youtube interview එකක්

ශෂික සදීප් - දකුණු කොරියාව
2022-November

“”කඩුව දුන්නද උදුර ගත්තද

තාම සැකයක් තියෙන හින්දා

කවියො අදටත් වාද කරනවා

ලිය ලියා කවි දෙපිල බෙදිලා

හොයාගෙන මං ආවෙ ඒකයි

ඉතිං කිසිවක් නොකර සඟවා

එදා වනයෙදි උනේ මොනවද

කුමරියනි මට දෙන්න පහදා””

කුමරිය ————-👇

(මනමේ කුමාරයාගේ නම ජාතක පොතහි “ධනුද්දර”යි.

එනම් දුනු ශිල්පයෙහි කෙළ පැමිනියෙකු යන අදහසයි)

ධනුද්දර හට මගුල් මාලය

පලදන්න යැයි මගේ බෙල්ලේ

පියතුමා තනි වචනෙ දුන්නම

කෙලෙසකද පිටුපාලා ඉන්නේ

මවාගෙන උන් පිරිමි රූපය

බොඳ වෙද්දි පපු කුහර මැද්දේ

ඒක හින්දයි මල්ලියේ මං

ඔහුත් එක්කලා මඟට බැස්සේ

ගම් දනව් පහු කරන් වනයට

එළඹි මොහොතෙම දුන්න උස්සා

දිවා රෑ මුව ගෝනු පස්සෙම

ඔහු ඉතිං වැටි වැටී දිව්වා

තනියෙන්ම ගල් තලාවක මං

හඩද්දී පණ භයේ වෙව්ලා

මරපු කොටියෙක් අරන් ඇවිදින්

මහා ලොකුකම් ගොඩක් කිව්වා

සුවඳ ගගහා වනේ හැමතැන

පිපෙන බාලොලි කැකුළු මල්

නෙලන් ඇවිදින් හිසේ කොනකින්

ගැහුවෙ නැහැ ඔහු මගේ නන්

සඳ රැසින් රන් ගාපු විලසට

දිදුලනා මගෙ රුව වනන්

මල්ලියේ කවි කිව්වේ නැහැ ඔහු

හිටියා මිස රෑ උඩ බලන්

සරාගික දිග තියුණු බැල්මක්

ඇස් වලින් ඉඳ හිටක හෙලලා

අතින් අල්ලන් තුරුල් කරගෙන

ආදරෙයි මගෙ මැණික කියලා

සීරුවට තොල් පෙති හපන්නට

ළඟට ඩිංගක් වරෙන් කියලා

දුන්න තුරුලේ තියන් බුදියන

ඔහුට මං ඇස් වලින් කිව්වා

දුනු වලින් කෙල පැමියත් ඔහු

“”ධනුද්දර”” යැයි ලබා නාමේ

හෝඩිපොත වත් කියවලා නැත

අහම්බෙන් වත් ඉතිං ප්‍රේමේ

නීති ඔක්කොම කියා දුන්නත්

‍රජ කරන්නට ගොහින් දේසේ

පියතුමා හට මගහැරී ඇත

උගන්නන්නට ඔහුට ආලේ

දනට පිනකට නිකන් දුන්නත්

කොටහක්ම ගලවලා පපුවේ

බදාගත් ආදරේ නන් නෑ

ඇබිත්තක් වත් ගෑණු බෙදුවේ

රජ වෙලා අන්තඃපුරේටම

පුදද්දී මට උරුම ආලේ

කෙලෙසකින් දුක උහුල ගන්නද

කියාමයි අඬ අඬා හිතුවේ

පුපුරද්දි කර්කෂක පොළොවට

උඩින් අහසේ සැරට අකුණූ

හිනැහුනා ඒ දෙස බලාගෙන

පතොක් මල් ගිණි අව්වෙ පිපුණූ

ගැටෙද්දී මහ කැලේ මැද වැදි රජුගෙ

ඇස් දෙක සෙනෙහෙ පිරුණූ

ප්‍රේමයේ දිය බුබුළු මතුවිය

තෙත් කරන් හදවතේ සිදුරූ

කෝටියක් මිල මුදල් නැතුවට

එකම එක වචනෙටත් නිවුණූ

ගෑණු හිත් වැල් ජාතියක් බං

ආදරේ යන ගහේ එතුණූ

සියොලඟින් තේජසේ වෑහෙන

ඔටුනු හිමි රජතුමෙක් නොදුටු

මගේ හිත හෙල්ලුවා වැද්දෙක්

කළුම කළු කැත කැලේ හැදුණූ

නොවැටෙද්දි වැහි බිඳක්වත්

මහ ඉඩෝරෙක හැකි තරම් උහුලා

දිය හොයාගෙන ඕන පැලයක

මුදුන් මුල් ටික යටට බැස්සා

රජෙක් ගෙන් මන් යැද්ද ප්‍රේමය

වැද්දෙක්ගෙ ළඟ දුටුව හින්දා

උදුර ගත්තා නෙමෙයි මල්ලියෙ

අම්මපයි මං කඩුව දුන්නා

(‘අම්මපයි මං කඩුව දුන්නා’ කාව්‍ය සංග්‍රහයෙන්)