ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

මතක බණ

මතක බණ

සුමිත්‍රා ආරියවංශ - මහනුවර
2023-May

සිරිදාස මිය ගිහින් තුන් මහක් ගිය තැන
අද තමා හැන්දෑවෙ එහි මතක බණ දින
වෙහෙස වූ තරමටම අත ඇඟිලි ගැණ ගැණ
හාමිණේගේ මුහුණෙ සර්දාව උතුරන

වැඩමවන මග පිරුණු පිරිමි මහ පිරිවර
දොරකඩින් හෙල්ලුණේ පා දොවා නිමකර
එළිපත්ත නොදුටු උන් ගොසින් බණ අතහැර
බවලතුන් දරු පැටවු හිඳ පැදුරු දිගහැර

පුංචි උන් වාඩි කර වැඩිහිටියො හිටගෙන
හාමිනේ වෙහෙසටම පැදුරෙ හිස ඇනගෙන
හාමුදුවෝ දෙසයි දුක නසන බුදු බණ
දූ දරුවො කසු කුසුව සංග්‍රහයෙ වැඩ ගැන

පීකරේ දෙදරුමට මදක් ගත් මුත් මැඩ
යාන්තම් ඇසෙනවා බෝතල් ගැටෙන හඬ
බූරු පොළ පිළිකන්නෙ අරඹලා ඇත වැඩ
සාලෙ හිස් එතන නැත ඇඟිල්ලක ඉඩ කඩ

යාන්තම් ඇසෙන්නේ සෙත් පතන හඬය
තුන් මාසෙ පිං කමත් නිමා වෙන හැඩය
සාලයට එකතු වෙයි විසිර සිටි නඩය
මේ ඉතින් මළ වුනුත් රවටනා වැඩය…