ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

මතකයි මට

මතකයි මට

නුවන් තොටවත්ත
2021-November

මතකද ඔයාට
පුංචි දෝණි ගෙ “ක්ලේ” පැකට් එක
කොච්චර ලස්සනද
අපි මුලින් ගේනකොට

එක එක පාට
එක ලඟ තියෙනකොට
හැම එක ම හරි වෙනස්
ඒත් කොච්චර ආස හිතුන ද ?

ඒත් දැන් ටික ටික
එකට ඇනිලා ඔක්කොම
වටපිටාවේ තිබුන
හැමදේ ම ඇමිනිලා එකට

බලන්නට වත් නොහිතෙන
එකම අඳුරු පාට
හැම තැන ම
.
.
මතකද ?

හරියට ම ගැලපෙන්න කියලා
වෙනස් වෙන්නට ඉස්සර

කල්ප ගානක් බලන් ඉඳලා
අහම්බෙන් හම්බුණ දවස් වල
සෙනග ඉතිරෙන බස් වල
එක ලඟ හිටන් යනකොට

අපි දෙන්නා
කොච්චර වෙනස් ද ?