ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

මට මව් වගෙයි ගමලිය මා “ළ” පල්ලයි

මට මව් වගෙයි ගමලිය මා “ළ” පල්ලයි

ගත් කතු, සංගීතඥ මාලපල්ලේ කුමුදු අමරසිංහ - ලන්ඩනය
2022-March

මට මව් වගෙයි ගමලිය මා “ළ” පල්ලයි

ළහිරු රැසින් නැහැවෙන සඳ සිතට
ගෙනා වදුළ මැද තැනින් – තැන මල් කැකුළු
පිනා දොළක නැගෙත කසුකුසු හඬ මුසු ව
මනා අසනු උපන් පින්බර මගෙ ගමෙහි සිනා

මෙ කොණේ පල්ලමයි එ කොණේ කන්ද උසයි
දෙ කොණ ම යා කෙළේ මඟ නාගයකු වගෙයි
පෙනුණේ කෙත් රජයි රජයන එ මඟ දිගයි
දැනුණේ සුවහසයි නිදහසෙ සුළං රොදයි

බුදු රුව පතුල සතපන අරලියා මලී
පසුයම පුබුදු වන සේපාලිකා මලී
සඳු රැස දකිනු කැමැති ව සුදු කු මලී
සපුමලි – වනමලී – බල නිදිකුම්බා මලී

සුළඟට නැඟී ඉවුරට ළං වෙන රැල්ල
ගෙල වට දැමූ රන් පට සේ වෙයි එල්ල
කෙත – වැව – හේන සිඹ එන මදනල කෙල්ල
මට – බොට කතා නැතිකොට කෙරුවෙ ද මෙල්ල

කර දිය වළල්ලක් අසලක නොමැති නමුත්
මිරි දිය රැළි පිරේ දොළ – වක්කඩක වුණත්
කිරි දිය ගමට සපුරන ගොවිපලක මහත්
විම සිය යුතු ය මගෙ ගම පිළිබඳ ව පුවත්

නැගෙන – හිරින් බැලු විට දෙ අතයි කමතේ
බසින – හිරින් බැලු විට නුවරයි මසිතේ
උතුරු – දෙසින් බැලු විට ලකුණයි උපතේ
දකුණු – දෙසින් බැලු විට සැදුණයි විජිතේ

අඩියෙන් – අඩිය තබමින් මා ගිය පාරේ
වැඩියෙන් තිබුණු වල්පැල – කටුගස් තීරේ
සැදු‌ණෙන් දෙ පස මඟ එළි කරමින් හූරේ
සැකයෙන් නොයනු ගම කල – එළියයි මීරේ

කරුවල ගැසුණු වතුවල රබර ගස් වට
ගිනිමල නැත පිපිරුමට විසුල පස් යට
තුරුවල පැහෙන පල රස මිහිර හිස් කොට
ගත කළ හැකි ය සිත් සේ තැස ද අස් කොට

පෙර’තුව ඉබි ගමන් වග මං – තොට පෑවේ
කඩ’තුව හැදුණු ලෙස වළ – ගොඩැලි ද සීවේ
හැඩරුව බලනු නෙතු හැර සුමිතුර ජීවේ
උමතු ව අධි මඟ ට සපැමිණ කොට්ටාවේ

පෙර හුරු ගමන් මඟ නොව අද ගම් මැද්දේ
තෙර දුරු කෙළෙන් නැත කටු පඳුරක් බැද්දේ
වෙර පිරු බෙලෙන් බල ගම්ලියනගෙ සද්දේ
මෙර විරු කෙමෙන් බිම තැබු බැඳි හිස මැද්දේ

ය – කඩ ගොඩක් ඇත ගම මැද අඟුරු කකා
දෙ – කඩ පිහිල්ලෙහි දෙ පය ද නොතැබු එකා
සො-කඩ වෙමින් යමගෙහි හති අරින මෙකා
දෙ-ගොඩ යා කරන් යයි මේ යකඩ යකා

දුම් ගුලි ගගනතට පිඹිමින් අ`ගුරු කකා
නිරතුරු කොළොම්පුර සිට ගමනෙහි ම තකා
යන විට දුටුවහොත් කෙත් කිති කවන එකා
ගමට ම සොඳුරුකම ගෙන එයි යකඩ යකා

කුකුළන් හඬයි හඬළන හඬ ගමේ දුවයි
විහඟුන් හැඩයි බඹරුන් නට – නටා ගයයි
සුරඟුන් පෙළයි සමනල් මල් රටා වියයි
බරුවන් ගැළයි කමතයි කවි මුවේ නටයි

ක වියට නගන පද සංකල්පනා වන්
ස වියට කියන හර මුව කළ කලා වන්
ස බයට ඔබින ලෙස මදු රස ගුලා වන්
මෙ ගමට සිටින “කිවිපුර” වාසනා වන්

දීමට ඇත යමක් දැනුවත් කරනු නිසී
කීමට තිබේ ගම ගැන පෙර නැගුණු කිසී
වී සිත එඩි කමෙන් පා ගම සිටිය වැසී
ජී-විත “මරුට” ගියෙ සිරිපාලගෙන් නැසී

හොඳ වාගෙ ම නරකවුන් නම් දුන් ගමට
සඳ වාගෙ ම සොමින් ගුණ ඇති දන් එමට
වඳ වී යන්න ගුණමකු සිත්වල කහට
මඳ වී ඇති ද කළ පින් පූරුවෙ පවට

පොත්-පත් රැගෙන අකුරට යන දරු – මල්ලූ
හිත් ගත් ඇති ව කරති ය ඉගෙනුම ඉල්ලූ
නෙත් මත් කරයි දුටු දන – මන සිත් විල්ලූ
සිත් – පිත් සුව සදයි යන ස`ද සම – නල්ලූ

නිල්ල කරල කොමලිය කෙත් වළල්ලයි
රනිල විමල කමලිය රැල් ළ’වැල්ලයි
සුනිල උදුල පෙමලිය පන් පැලල්ලයි
නිමල කොමල ගමලිය මා ළ’පල්ලයි

උතුරු ලන්ඩනයේ එඩ්මන්ටන් ප්‍රදේශයේ සිට ලියයි.

2022.03.22