ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

මග බලා ඉමි….

මග බලා ඉමි….

විශේෂඥ වෛද්‍ය මනෝරි ගමගේ - පන්නිපිටිය
2021-April

පියලි හිම දියවුනා වැටුන රන් හිර රැසට
වියලි ගිය අතු පතර පලා පැහැ වුනි ජයට
කැකුලු මල් එකක්වත් නෑවිදින් අතු අගට
සැඟව ගොස් වගෙයි අද කොරෝනා වට බියට

ගිය වසර පෙති විදා නටපු සුදු ලිලී මල්
බලා ඉන්නවද තව සුව කලක් ලබන කල්
යායටම සලු පැළඳු නේක පැහැ. රෝසමල්
තාම හැංගී ඇයිද එන්න දැන් හරිය කල්

තැනින් තැන හීමීහිට හිඳින හිස ඔසවලා
මොකද මේ ටියුලිප්ස් තාම පෙති අලවලා
බියෙන් දෝ එනු අතැයි වයිරසය පියඹලා
ඉන්නවද මුව වැසුම් දෙනතුරා හැකිලිලා

ආදරෙන් කියන්නේ මල් වලට අහගන්ට
හෙට දිනේ හරි හෙමින් එන්න වෙනවා ලොවට
අප ගෙවූ වසරක්ම අඳුරු මූසල කමට
නිම කරන්නට හැකියි ඉක්මනින් පැමිනිවිට

ගෙවී ගිය වස්සානෙ ලෝකයම හැර පියා
ලස්සනම හදවතුත් පොළොවෙ සැඟවී ගියා
ආදරය ඔවුන්ගේ මලක පෙති මත තියා
ගේනවද ලෝකයම තවත් හැඩ වන නියා